ත්‍රස්තවාදයට-එරෙහිව-දයා-රත්නායක

හිටපු හමුදාපති දයා රත්නායක මහතාගෙන් දරුණු ත්‍රස්තවාදයක් ගැන අනතුරු ඇඟවීමක්..

මානුෂීය මෙහෙයුම ජයග්‍රහණය කිරීම පිණිස සුවිශාල කාර්යභාරයක් ඉටු කළ හිටපු හමුදාපති දයා රත්නායක මහතා විසින් රට ඉදිරියේ ඇති බලවත් ත්‍රස්තවාදයක් ගැන සිදු කරන ප්‍රකාශයක් සහිත වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. එතුමා කරන එම ප්‍රකාශයේ අතිශය වැදගත් බව හේතුවෙන් එම වීඩියෝව සහ එම කථාවේ පිටපත අපගේ වෙබ් අඩවියේ පළකිරීමට අපි තීරණය කළා.

කොටි ත්‍රස්තවාදයට වඩා දරුණු ත්‍රස්තවාදයක්..

මා හිතවත් ශ්‍රී ලාංකිකයිනි,

ලාංකීය ජනතාව රුදුරු ත්‍රස්තවාදයෙන් මුදා ගැනීම සඳහා දිවිහිමියෙන් කැප වීමෙන් ක්‍රියා කළ මා විසින් ප්‍රකාශ කරන කාරණය ඔබගේ විමසීමට භාජනය කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

පරාජයට පත්කරන ලද ත්‍රස්තවාදයට වඩා බලගතු හා ශක්තිමත් ඒ වගේම ඉතා සූක්ෂම ත්‍රස්තවාදයකට මාගේ මව්බිම ගොදුරු වීමේ දැඩි අවදානමක් ඇති බව ජාත්‍යන්තර හා කලාපීය දේශපාලන ක්‍රියාදාමයන් හා හැසිරීම් රටාවන් විවේක බුද්ධියෙන් විමසා බැලීමේදී පැහැදිලි වන කාරණයක්. ලෝකයේ පිහිටීමට අනුරූපව ශ්‍රී ලංකාද්වීපය සතු අමිල භූගෝලීය සාධකයන් අධ්‍යයනය කරන ලද ඒ ගැන අපටත් වඩා හොඳින් දන්නා පිරිසක් ඔවුන්.

මා ඉහත සඳහන් කරන ලද ජාත්‍යන්තර හා කලාපීය ඉව ඇල්ලීම් දෙස සිහි නුවණින් බැලීමේදී ඒ බව සක් සුදක් සේ පැහැදිල වෙනවා. මවිබිම ත්‍රස්තවාදයෙන් බේරා ගැනීම සඳහා යුධ වැදුණු මා හට ඊට වඩා දරුණු හා සූක්ෂම ත්‍රස්තවාදයක් හමුවේ නිහඩව සිටීම කිසිසේත් උචිත නොවන නිසාවෙන් ඔබ ඇමතීමට මා තීරණය කලා.

පෙරදිග හා අපරදිග මුහුදු මාර්ගය යා කෙරෙන කේන්ද්‍රස්ථානය ලෙස අපගේ මේ පුංචි දිවයිනට ඇති වටිනාකම සුවිශේෂයි. ඔබ දන්නවාද ලෝක දේශපාලනයේ වැදගත්ම සාධකය සාගරය හා භූමිය බව සාගරය හා භූමිය අරමුණු කරගත් ලෝක දේශපාලනයක් ක්‍රියාත්මක වන බව ඔබ දන්නවාද? කලාපීය හා ජාත්‍යන්තර වශයෙන් මෙම මනරම් භුමිය හා සාගරය දෙස විදේශ බලවේග තම අවධානය දැඩි ලෙස යොමු කරගෙන සිටිනවා. මෙම දේශය වක්‍රාකාර ලෙස ඔවුන් නතුකර ගන්න, ඔවුන්ට රිසි ලෙස මෙම භූමියේ රඟන්න, ඔවුන්ගේ කලාපීය හා ජාත්‍යන්තර අවශ්‍යතාවයන් සපුරා ගන්න මෙම භූමිය හා සාගරය අතපත් කරගැනීම අත්‍යවශ්‍ය සාධකයක්.

ගරු පූජකවරුනි, මිත්‍රවරුනි තීරණාත්මක අවස්ථාව දැන් එළඹිලා තියෙනවා. එය ඔබගේ දෙපා මුලටම පැමිණ තිබෙනවා. විදේශ බලවේග කලාපීය හා ජාත්‍යන්තර වශයෙන් තම අභිමථාර්තයන් සඵල කර ගැනීමට යන ගමනේදී ඊළඟ ශ්‍රී ලාංකීය ආණ්ඩුව සමග අදාල නිර්ණායකයන්, දේශපාලන හා ආර්ථික ගනුදෙනු ගැන සාකච්ඡා කළ යුතු වෙනවා. හොඳින් මතක තියා ගන්න මේ අපට ලැබී ඇති අවසාන අවස්ථාවයි. මේ අවස්ථාවේ වරද්ද ගතහොත් අපට යළි කෙදිනකවත්, යළි කෙදිනකවත් නිවැරදි කරගත නොහැකි වෙනවා.

රට පෙරට නොව බඩ පෙරට ගත් බඩගෝස්තරවාදීන් ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකාව අහිමි කරනවා. සිංහල ද දෙමළ ද මුස්ලිම් ද බර්ගර් ද මැලේ ද කියන එක නොවේ මෙතන තියෙන ප්‍රශ්නය. මේ ඉතාමත්ම තීරණාත්මක මැතිවරණයක්. ඔබ සැමගෙන් කෙරෙන මාගේ ඉල්ලීම ලෝක දේශපාලනය භූගෝලිය පිහිටීම සාගර දේශපාලනය වැනි කරණු ගැන අධ්‍යයනයක් කියවීමක් ඇති කරගන්න. එසේ නොමැති නම් ඒ පිළිබඳ දැනුම ඇති අයගෙන් අසා දැන ගන්න. රටට ඇති අනතුර අවබෝධ කරගන්න.  එය ලැජ්ජාවට කරුණක් නොවේ. අධ්‍යාපනය අවසන් කල, අධ්‍යාපනය ලබමින් සිටින දූ දරුවන් ඔබගේ දේශපාලන විද්‍යා, සමාජ විද්‍යා, භූගෝල විද්‍යා හා ආර්ථික විද්‍යා ගුරුවරයන්ගෙන් මේ පිළිබඳ විමසා දැනගන්න.එලෙස ලබා ගන්නා දැනුම ඔබගේ දෙමව්පියන්ට වැඩිහිටියන්ට ඥාතීන්ට හා අසල්වැසියන්ට බෙදා දෙන්න.

මොන දේ කරන්නත් අපට රටක් තිබිය යුතුයි. අපේ රට පමණක් නොවෙයි සමස්ථ ආසියාවේම සංවර්ධනයට පවා බලපාන මර්මස්ථානයක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාව මේ කුඩා දිවයින සතුයි. මෙවැනි දේවල් ඇහෙනකොටත් ඔබට සන්තෝසයක් දැනෙනවා නේද? එම තත්වය පරිහරණය කිරීම කලාපීය හෝ ජාත්‍යන්තර බලවේග වලට අප ලබාදිය යුතුද? එම තත්වය ඇතිකරන ආණ්ඩුවක් අපි බිහි කරගත යුතුද? අවසාන මතක් කිරීම වශයෙන් මා ප්‍රකාශ කර සිටින්නේ මේ ඉතාමත්ම තීරණාත්මක මැතිවරණයක්. දන්නා අය නොදන්නා අයට කියා දෙන්න. නොදැනුවත්කමින් වැරැද්දක් වෙන්න ඉඩ තියන්න එපා. බුද්ධිමත් ලෙස සිතා බලා ඔබගේ වටිනා ඡන්දය පාවිච්චි කරන්න.

– හිටපු හමුදාපති දයා රත්නායක මහතා –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *