තැපැල් ඡන්දය අද සහ හෙට – රාජ්‍ය සේවකයින්ගේ තීරණයට සියල්ල සූදානම්

මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද(31) සහ හෙට(1) යන දෙදින සිදු කිරීමට නියමිතය.

මෙවර සුදුසුකම් ලබා ඇති තැපැල් ඡන්දය සදහා අයදුම්කරුවන් 6,59,030 දෙනකු සුදුසුකම් ලබා සිටී.

2019 ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද සලකුණු කිරීම නිමිත්තෙන් ඊට අදාළ සියල්ල සූදානම් කර ඇති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට රාජ්‍ය සේවකයින් 717,871 දෙනෙක් ඉල්ලුම්පත් භාර දී තිබූ නමුත් ඒ අතරින් ඉල්ලුම්පත් 58,841 ක් ප්‍රතික්ෂේප වී ඇත.

නොවැළැක්විය හැකි හේතුවක් මත අද(31) සහ හෙට (01) ඡන්දය භාවිත කිරීමට නොහැකි වන ඡන්ද දායකයින්ට නොවැම්බර් මස 7 වැනිදා නියමිත දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ඡන්දය සලකුණු කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

තැපැල් ඡන්දය සලකුණු කිරීම් සහ තැපැල් ඡන්දය විමසන ස්ථාන ඡායාරූප ගත කිරීම හා වීඩියෝගත කිරීම තහනම් වන අතර තැපැල් ඡන්ද විමසීම සිදුවන ස්ථාන අවට අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන ආකාරයෙන් කටයුතු කිරීම ද තහනම් වේ.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කර තිබේ.

අවංකභාවයට මුල් තැන දෙන,ජනතාවගේ අයිතීන් සහ නිදහස සුරක්ෂිත කරන අපේක්ෂකයෙකු තෝරා ගැනීමට මෙම ජනාධිපතිවරණයේදී බුද්ධිමත්ව තීරණ ගන්නා ලෙස එමගින් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් විපතට පත්වූවන් සිහිකරමින් ආගමික අන්තවාදය මුලිනුපුටා දමා ජාතීන් අතර සාමය ඇති කරන ලෙස රටේ නායකයන්ගෙන් ඉල්ලා සිටින බවද එහි සඳහන් වේ.

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ දිස්ත්‍රික්ක දොළහක රදගුරු හිමිවරුන්ගේ අස්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් ජනපති අපේක්ෂකයන්, ඔවුන්ගේ අධාරකරුවන්, සමාජ මාධ්‍ය ඇතුළු වගකිවයුත්තන් මැතිවරණ නීති අකුරටම පිළිපදිනු ඇති බවයි.
මේ අතර තැපැල් ඡන්දය ප්‍රකාශ කරනු ලබන ස්ථාන අවට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *