පොදුජන පෙරමුණ සමග දැවැන්ත සන්ධානයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ 17 ක් එක්ව අද(31) නව සන්ධානයක් ගොඩනැගීම සඳහා වන ගිවිසුමකට අස්සන් තැබුවේය.

ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ ඉදිරි සෑම මැතිවරණයකටම ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස නම්කර ඇති මෙම නව සන්ධානය යටතේ තරග කරන බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ 17ක් එක්ව ආරම්භ කෙරුණු ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට අස්සන් තැබීමේ උත්සවය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වුණු අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පක්ෂ නායකයෝ එම අවස්ථාවට එක්වූහ.

එම අවස්ථාවේ අදහස් දැක්වු ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ ලංකාවේ ඇතිවුණු විශාලතම සන්ධානය මෙය වන බවයි.
පක්ෂ 17ක් වුවද සියල්ලන්ම එක් පොදු අරමුණක් වෙනුවෙන් එක්වී සිටින බවත් එනම් “මව්බිමට ආදරය කරන” පක්ෂ මෙසේ සන්ධානගතව ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

එසේම ජයග්‍රහණයෙන් පසුව තම ධුර කාලය ඇතුළත සියලු ජනතා බලාපොරොත්තු ඉටු කරගැනීමට සියලු පක්ෂවල සහයෝගය බලාපොරොත්තු වන බවත් ඒ මහතා පැවසීය.

එසේම මෙම සියලු පක්ෂවල සහය ඇතිව සියයට 56ක් ඉදිරියෙන් සිට මෙම මැතිවරණයට මුලපිරීම සිදුවන බවත් සියලුදෙනාම මේ වන විට ජනාධිපතිවරණය ජයගන්නේ කවුදැයි තීරණයකට පැමිණ ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට අයත් පක්ෂ 17 මෙසේය.
-ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
-ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
-මහජන එක්සත් පෙරමුණ
-ශ්‍රී ලංකා කොමියුනිට්ස් පක්ෂය
-ලංකා සමසමාජ පක්ෂය
-ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ
-ජාතික නිදහස් පෙරමුණ
-පිවිතුරු හෙළ උරුමය
-ඊළම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ( EPDP)
-ලංකා කම්කරු කොංග්‍රසය
-විජයධරණී ජාතික සභාව
-ජාතික කොංග්‍රසය
-ශ්‍රී ලංකා මහජන පක්ෂය
-දේශ විමුක්ති ජනතා පක්ෂය
-තමිල මහජන විමුක්ති සන්ධානය (TMVP)
-එක්සත් මහජන පක්ෂය
-මුත්පොකුත් තමිල් කච්චි (MTK))

Leave a Reply

Your email address will not be published. Required fields are marked *