එක්සත් අරාබි එමීර් රාජ්යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්රල් සහ ඩීසල් මිල පහත වැටේ

පසුගිය මාස තුන පුරා අඛණ්ඩව ඉහළ ගිය ඉන්ධන මිලට සහනයක් එක්කරමින්, 2026 නොවැම්බර් මාසය සඳහා පෙට්රල් සහ ඩීසල් මිල ගණන් පහත දැමීමට එක්සත් අරාබි එමීර් රාජ්යය (UAE) පියවර ගෙන තිබේ.
සංශෝධිත නව ඉන්ධන මිල ගණන් නොවැම්බර් මස 01 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි එමීර් රාජ්යය පුරා බලාත්මක කෙරේ. ඒ අනුව පෙට්රල් මිල සියයට 5.5 ත් 5.7 ත් අතර අගයකින් පහත වැටී ඇති අතර, ඩීසල් මිල සියයට 1කින් පමණ අඩු වී ඇත.
නොවැම්බර් මාසයේ සංශෝධිත නව ඉන්ධන මිල ගණන්:
- සුපර් 98 පෙට්රල් (Super 98): ලීටරයක් එක්සත් අරාබි එමීර් ඩිරාම් (AED) 4.16ක් (ශ්රී ලංකා මුදලින් රුපියල් 376ක් පමණ) වේ. පසුගිය ඔක්තෝබර් මාසයේ පැවති ඩිරාම් 4.40ක මිලට සාපේක්ෂව මෙය ඩිරාම් 0.24ක අඩුවීමකි.
- ස්පෙෂල් 95 පෙට්රල් (Special 95): ලීටරයක මිල ඩිරාම් 0.24කින් පහත වැටී ඇති අතර, ඒ අනුව නව මිල ඩිරාම් 4.04ක් (රුපියල් 366ක් පමණ) වේ. ඔක්තෝබරයේදී එහි මිල ඩිරාම් 4.28ක් ලෙස සටහන් විය.
- ඊ-ප්ලස් 91 පෙට්රල් (E-Plus 91): ලීටරයක මිල ඩිරාම් 0.24කින් පහත වැටී ඩිරාම් 3.97ක් (රුපියල් 359ක් පමණ) දක්වා අඩු වී තිබේ. ඔක්තෝබර් මාසයේදී එහි මිල පැවතියේ ඩිරාම් 4.21ක් වශයෙනි.
- ඩීසල් (Diesel): ඩීසල් ලීටරයක මිල ඩිරාම් 4.80 සිට ඩිරාම් 4.75 (රුපියල් 430ක් පමණ) දක්වා සුළු අගයකින්, එනම් ඩිරාම් 0.05කින් පහත දමා ඇත.
මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ජාත්යන්තර බලශක්ති වෙළෙඳපොළ තුළ පැවති දැඩි අස්ථාවරත්වය මධ්යයේ, එමීර් රාජ්යයේ ඉන්ධන මිල අඛණ්ඩව පසුගිය මාස තුනේදීම ඉහළ දමා තිබිණි. එහෙත් ලෝක වෙළෙඳපොළ මිල ගණන්වලට අනුකූලව මාසිකව සිදුකරන මිල සංශෝධනය යටතේ මෙවර පාරිභෝගිකයින්ට මෙම ඉන්ධන සහනය හිමිවී තිබේ.
