උතුරු පළාතේ දිගුකාලීන ඉඩම් ගැටලු සහ ප්‍රාදේශීය සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා උසස් මට්ටමේ සිවිල්-හමුදා සම්බන්ධීකරණ රැස්වීමක් මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේතනායහන්, සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සහ මන්නාරම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති උපාලි සමරසිංහ, වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සෙල්ලත්තම්බි තිලගනාදන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ නියෝජිතයින් එක්ව සිටියහ.
මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරුණේ කෙප්පාපිලව් ප්‍රදේශයේ ශ්‍රී ලංකා යුද හමුදාව භාවිත කරන ඉඩම් සහ ශ්‍රී ලංකා නාවික හමුදාව භාවිත කරන වඩ්ඩුවාක්කල් ප්‍රදේශයේ ඉඩම් සම්බන්ධ ගැටලු පිළිබඳවය.
සාකච්ඡාව අමතමින් නියෝජ්‍ය අමාත්‍ය ජයසේකර මහතා සඳහන් කළේ, දිගුකාලීන කලාපීය ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා ජාතික ආරක්ෂක අවශ්‍යතා සහ රාජ්‍ය මෙන්ම පෞද්ගලික ඉඩම් සම්බන්ධ පවතින ගැටලු විසඳීම අතර සමබරතාවයක් පවත්වාගත යුතු බවයි.
රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, අදාළ ගැටලු සඳහා ජාතික ආරක්ෂාව ආරක්ෂා කරමින් ජනතාව කේන්ද්‍ර කරගත්, ප්‍රායෝගික සහ ඒකාබද්ධ ප්‍රවේශයක් අනුගමනය කරන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා අදාළ ආයතනවලට උපදෙස් ලබා දුන්නේය.
ආපදා ප්‍රතිචාර, හදිසි සහාය සහ ප්‍රජා සේවා කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාව දක්වන දායකත්වයද ඔහු අවධාරණය කළ අතර, ආරක්ෂාවට මෙන්ම ජනතා සුබසාධනයටද ඔවුන්ගේ පැවැත්ම වැදගත් බව සඳහන් කළේය.
රජයේ විනිවිදභාවය, සංහිඳියාව සහ තිරසාර සංවර්ධනය සඳහා වූ කැපවීම යළි අවධාරණය කරමින්, මතු වූ ගැටලු සඳහා ප්‍රායෝගික හා දිගුකාලීන විසඳුම් සෙවීමට සියලු අදාළ ආයතන එක්ව කටයුතු කරන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු රජයේ නියෝජිතයින් උපදෙස් දුන්හ.
මෙම රැස්වීමේදී ප්‍රදේශවාසීන්ටද තම ගැටලු සෘජුවම නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී තිබිණි. ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, දිගුකාලීන ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට ලැබුණු මෙම අවස්ථාව ප්‍රදේශවාසීන් බොහෝ දෙනෙකු පිළිගත් බවත්, තම ගැටලු සඳහා විසඳුම් ලැබෙනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු පළ කළ බවත්ය.
ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යුද හමුදා සහ නාවික හමුදා ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, අදාළ රාජ්‍ය ආයතන නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක්ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.


