දණහිසේ ආබාධය උත්සන්න වෙයි: බුම්රා ශ්‍රී ලංකා ටෙස්ට් සටනෙන් ඉවතට

අගෝස්තු 15 වැනිදා ගාල්ලේදී ආරම්භ වන ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියට ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා සහභාගී නොවන බව වාර්තා වේ.

TimesofIndia.com වාර්තා කරන පරිදි, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) විශිෂ්ටතා මධ්‍යස්ථානයේ (CoE) සිදුකළ මූලික පරීක්ෂණයකින් අනතුරුවද බුම්රාගේ වම් දණහිසේ අපහසුතාව තවමත් පවතින බව අනාවරණය වී තිබේ.

ඔහුව නැවත තරග සඳහා ඉක්මනින් යොමු කිරීම ආරක්ෂිත නොවන බවට වෛද්‍ය කණ්ඩායම සහ අදාළ පාර්ශ්ව තීරණය කර ඇති අතර, සම්පූර්ණ සුවය ලබා ගැනීම සඳහා වැඩි කාලයක් ලබා දීමට උපදෙස් ලබා දී ඇත.

පසුගිය සතියේ වාර්තා වූ පරිදි, විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් අදියරේදී උත්සන්න වූ දණහිසේ ගැටලුව සඳහා බුම්රාට එන්නතක් ලබා ගැනීමට BCCI වෛද්‍ය කණ්ඩායම උපදෙස් ලබා දී තිබිණි.

32 හැවිරිදි බුම්රා එම එන්නත පසුගිය මාසයේ නියමිත පරිදි ලබාගෙන තිබුණද, සම්පූර්ණ සුවය ලබා ගැනීමට බලාපොරොත්තු වූවාට වඩා වැඩි කාලයක් ගතවනු ඇති බව සඳහන් වේ.

කොළඹදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය සඳහා ඔහුව සූදානම් කිරීම පිළිබඳව සාකච්ඡා පැවති නමුත්, CoE වෛද්‍ය කණ්ඩායම කිසිදු අවදානමක් ගැනීමට කැමැත්තක් නොදක්වන බව වාර්තා වේ.

බුම්රාට වැඩි කාලයක් විවේකය ලබාදීමේ සැලසුමක් මුල සිටම පැවති අතර, අගෝස්තු 4 වැනිදා ශ්‍රී ලංකාව බලා පිටත්ව යාම සඳහා අගෝස්තු 3 වැනිදා මුම්බායිහිදී කණ්ඩායම සමඟ එක්වීමට ඔහුට නියම කර නොතිබිණි.

“අතීතයේදී ක්‍රීඩකයින් ඉක්මනින් නැවත ක්‍රීඩාවට යොමු කිරීමෙන් පසු යළි ආබාධවලට ලක් වූ අවස්ථා තිබෙනවා. එවැනි අවදානමක් නැවත ගත නොහැකියි. විශේෂයෙන් බුම්රා වැනි ක්‍රීඩකයෙකු සම්බන්ධයෙන්. මේ වසරේ තවත් වැදගත් තරගාවලි රැසක් තිබෙන නිසා සම්පූර්ණ සුවය ලබා ගැනීම පමණක් අපගේ අරමුණයි,” යනුවෙන් කණ්ඩායමට සමීප මූලාශ්‍රයක් සඳහන් කර ඇත.

ශුබ්මන් ගිල්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය සංචිතයට බුම්රා ඇතුළත් කර තිබුණේ ශාරීරික යෝග්‍යතාව තහවුරු කිරීමේ කොන්දේසිය මතය.

ඒ අනුව අජිත් අගාර්කර්ගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දීය ජ්‍යෙෂ්ඨ තේරීම් කමිටුව ඔහු වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු නම් කිරීමට නියමිතව ඇත.

ජම්මු සහ කාශ්මීර කණ්ඩායම වෙනුවෙන් දේශීය තරගවලදී දස්කම් දක්වා ඇති අවුකිබ් නබි, බුම්රා වෙනුවට කැඳවීමට ඉදිරියෙන් සිටින ක්‍රීඩකයා ලෙස සැලකේ.

ඔහු පසුගිය මාසයේ ඉන්දීය A කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා සංචාරයට එක්වූ අතර තරග දෙකකදී කඩුලු 6ක් දවාගෙන තිබේ.

මේ වන විට ඉන්දීය වේග පන්දු බලකායට මොහොමඩ් සිරාජ්, ගුර්නූර් බ්‍රාර් සහ ප්‍රසිද් ක්‍රිෂ්ණා ඇතුළත් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *