ඉන්දියාවෙන් මෙරටට පැන ආ අනෙක් කාන්තාවත් සොයාගෙන ඇත

ඉන්දියාවේ සිට ධීවර යාත්‍රාවලින් මෙරටට පැමිණ අතරුදන්ව සිටි තවත් කාන්තාවක් මීගමුව ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසා සිටියේ, ඊයේ රාත්‍රියේ මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේදී ඇය ව සොයාගත් බවය.

ඒ අනුව ඇය ව නිරෝධායනයට යොමුකිරීමට අවශ්‍ය පියවර මේ වන විට ගෙන ඇතැයි ද කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.

මේ අතර, නාවික හමුදාව විසින් වයඹදිග, උතුරුමැද සහ උතුරු යන මුහුදු ප්‍රදේශවල පාමුර සංචාර හා නාවික මුර යාත්‍රා වැඩි වශයෙන් යොදවමින් අනවසර සංක්‍රමිකයින් හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මඟින් රට තුළට කොරෝනා පැමිණීම වැළැක්වීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.

කෙසේවෙතත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ මෙවැනි සංක්‍රමණ හරහා තවදුරටත් කොවිඩ් අවදානම් තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් වඩා අවධානයකින් කටයුතු කළ යුතු බවය.

ඉන්දියාවේ චෙන්නායි කුප්පම් හි සිට ධීවර යාත්‍රා මඟින් කාන්තාවක් සිය දරු දෙදෙනාද සමඟින් මෙරටට පැමිණ තිබුණේ පසුගිය 30 වැනිදා අලුයමයි.

පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ නිවසක සැඟව සිටි ඔවුන් පොලිසිය සහ සෞඛ්‍ය අංශ විසින් ඊයේ සොයාගනු ලැබීමෙන් පසුව නිරෝධායනයට යොමු කෙරුණි.

අදාළ කාන්තාව සහ වයස අවුරුදු 13 ක් සහ 4 ක් වූ ඇගේ දරු දෙදෙනා අද පී.සී.ආර්.පරීක්ෂණ සඳහා පුත්තලම මූලික රෝහලට යොමු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *