අසර්බයිජානයේ ගින්නකින් ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනෙක් මරුට

අසර්බයිජානයේ පුද්ගලික විශ්වවිද්‍යාලයක පුහුණු පාඨමාලාවක නිරතව සිටි ශ්‍රී ලාංකික තරුණියන් තිදෙනෙකු බකූ අගනුවර බේයිල් ප්‍රදේශයේ පිහිටි නවාතැනක හදිසියේ ඇතිවූ ගින්නකින් ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වේ. ඔවුන් නවාතැන් ගෙන සිටි නිවසේ බිම් මහලේ ඊයේ (09) රාත්‍රියේ මෙම ගින්න හටගෙන ඇති අතර විෂ දුම ආඝ්‍රාණය වීමෙන් සිසුන් තිදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවටත් ගින්නට හේතුව විදුලි පරිපථයේ ඇතිවූ දෝෂයක් ලෙසටත් වාර්තා වේ. ශ්‍රී ලාංකික පුරවැසියන් වන මෙම ගැහැණු ළමුන් තිදෙනා බකූහි බටහිර කැස්පියන් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ වයස අවුරුදු 21, 23 සහ 25 අතර පසුවන අය වෙති. ගින්න අසල්වැසියකු විසින් දැක ජනේලය කැඩීමට උත්සාහ ගෙන ඇතත් ඔවුන්ගේ දිවි බේරාගැනීමට නොහැකි වී තිබේ.

රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා අසර්බයිජානයේ ශ්‍රී ලංකා කොන්සියුලර් සේවයක් පිහිටුවා නොමැති බැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය වෙත දැනුම් දීමට කටයුතු කර ඇති බවට විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරයි. සිද්ධිය සම්බන්ධ ඉදිරි පියවර ගැනීම සඳහා එම කාර්යාලයේ උපදෙස් අපේක්ෂාවන් සිටින බවත් තොරතුරු වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *