හිටපු හමුදාපතිට රිෂාඩ් බදියුදීන්ගෙන් බලපෑම් ඇතිවූයේදැයි පරීක්ෂණ

පාස්කු ප්‍රහාරයෙන් පසු හමුදාව මගින් දෙහිවලදී අත්අඩංගුවට ගත් ත්‍රස්තාවාදී සැකකරුවකු සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අවස්ථා දෙකකදී හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතාට දුරකතන ඇමතුමක් මගින් බලපෑම් කළේ යැයි කියන සිද්ධිය පිළිඹද බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ අරඹා ඇති බවට පොලිස් මූලස්ථානය කියයි.

මෙම සිද්ධිය සම්බන්ධව කරුණු විමසා පරීක්ෂණයක් සිදුකරන ලෙසට “සත්‍ය ගවේශකයෝ” සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා විසින් එවකට පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලක් සැලකිල්ලට ගෙන මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි. වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට පවරා තිබිණි.

මේ සම්බන්ධයෙන් නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත, රිෂාඞ් බදියුදීන්, හිටපු හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතයි. මින් පෙර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කර සිටියේ අමාත්‍යවරයා එම දුරකතනයෙන් පුද්ගලයෙකුගේ නමක් කියා තොරතුරු විමසූ බවටත් ඔහු සම්බන්ධයෙන් මා හට කුමක් කළ හැකිදැයි විමසා සිටි බවත්ය. එයට පිළිතුරු ලෙස “දෙහිවලදී එවැනි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත්, ඔහු සම්බන්ධයෙන් වසර එකහමාරකට පසු තොරතුරු විමසන ලෙසත්” දැනුම් දුන් බව හිටපු හමුදාපතිවරයා එම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *