අපරාධකරුවන් පිරිසක් අත්අඩංගුවට

දිගන ප්‍රදේශයේ අපරාධ රැසකට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වු පුද්ගලයින් පස්දෙනෙක් තෙල්දෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම අපරාධකරුවන් රැඳී සිටින ස්ථානයක් පිළිබඳ පොලීසියට ලද තොරතුරක් මත වැටලීම සිදුකර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, තෙල්දෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන් දිගන, අඹගහලන්ද ප්‍රදේශයේ අදාළ සැකකරුවන් රැඳී සිටි නිවස වටලා ඇති බවයි.

කෙසේවෙතත් එම අවස්ථාවේ දී එක් අපරාධකරුවෙකු විසින් පොලිස් නිලධාරීන් ට පොරොවකින් පහර දී ඇති අතර, එම අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් විසින් වෙඩිතැබීමක් සිදුකර තිබේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබු සැකකරු මහනුවර රෝහලට ඇතුළත් කර ඇති අතර, සෙසු සැකකරුවන් සිව්දෙනා ද අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් එම ප්‍රදේශයේ දීර්ඝ කාලයක් පුරා සිදුවු අපරාධ කිහිපයකට ම සම්බන්ධ බවත් ඉන් එක් සැකකරුවෙක් බන්ධනාගාරයෙන් පළා ආ අයෙක් බවටත් තොරතුරු අනාවරණය වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

අත්අඩංගුවට පත් සැකකරුවන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *