ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට අනුබද්ධ පර්යේෂණ හා පුහුණු අංශයක් ලෙස මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ සහ පුහුණු ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
1993 අංක 50 දරන පනත යටතේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පිහිටුවා ඇති අතර, කර්මාන්තයට අදාළ පර්යේෂණ හා පුහුණු කටයුතු සඳහා 1995 වසරේදී මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ සහ පුහුණු ආයතනය ස්ථාපිත කර තිබුණි.
මෙම ආයතන දෙකම ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ සංවර්ධනයට දායක වී තිබුණද, ඒකාබද්ධ ක්‍රියාකාරී යාන්ත්‍රණයක් නොමැතිවීම හේතුවෙන් සම්පත් අපතේ යාම සහ ප්‍රතිපත්තිමය පරස්පරතා ඇති වී ඇති බව නිලධාරීන් පෙන්වා දී ඇත.
අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ නිලධාරී කමිටුවක් විසින් සිදු කළ සමාලෝචනයකින් අනතුරුව, 2025 මාර්තු 17 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම ආයතන දෙක ඒකාබද්ධ කිරීම සඳහා ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී තිබුණි.
ඉන් අනතුරුව, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කළේය.
එම කමිටුවේ වාර්තාවේ නිර්දේශ අනුව, මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ සහ පුහුණු ආයතනය ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය යටතේ ප්‍රතිව්‍යුහගත කිරීම සහ 1993 අංක 50 දරන පනතට අනුව ඒ සඳහා අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.


