ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන සේවා සඳහා භාවිත කරන වාහනවල තාක්ෂණික තත්ත්වය සහ මාර්ග ධාවනයට සුදුසු බව තහවුරු කිරීම අරමුණු කරගත් නව රෙගුලාසි පාර්ලිමේන්තුව විසින් අනුමත කර තිබේ.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව, පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීන් සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියාමනය වන මගී ප්‍රවාහන සේවා සඳහා මෙම රෙගුලාසි අදාළ වේ.
එමෙන්ම පාසල් ප්‍රවාහන සේවා, කාර්යාල ප්‍රවාහන සේවා සහ කුලී පදනම මත ක්‍රියාත්මක කරන විශේෂ සංචාර සඳහා භාවිත කරන වාහන සඳහාද මෙම රෙගුලාසි අදාළ වනු ඇත.
2026 මැයි 19 වැනිදා නිකුත් කළ අංක 2489/22 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මෙම නව ක්‍රියාමාර්ග හඳුන්වා දී ඇති අතර, එමගින් අදාළ වාහනවල තාක්ෂණික තත්ත්වය සම්බන්ධයෙන් අවම ප්‍රමිතීන් සහ පිරිවිතර හඳුන්වා දී තිබේ.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අමාත්‍ය උපදේශක කාරක සභාවේ මෑත රැස්වීමකදී මෙම රෙගුලාසි පිළිබඳව සාකච්ඡා කර ඇත.
ශ්‍රී ලංකාවේ ධාවනය වන වාහන සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යමින් පවතින බැවින්, වාහනවල තාක්ෂණික යෝග්‍යතාව තහවුරු කිරීම වඩාත් වැදගත් කරුණක් වී ඇති බව කාරක සභාවේදී පෙන්වා දී තිබේ.
රටේ මාර්ග අනතුරු සම්බන්ධයෙන් සිදුකර ඇති අධ්‍යයනවලදීද බරපතළ අනතුරු රියැදුරන්ගේ වැරදි හේතුවෙන් පමණක් නොව, වාහනවල යාන්ත්‍රික දෝෂ සහ ප්‍රමාණවත් නඩත්තු නොකිරීම හේතුවෙන්ද සිදුවන බව කාරක සභාවට දැනුම් දී ඇත.
මගීන් ප්‍රවාහනය කරන වාහන අවම තාක්ෂණික හා ආරක්ෂිත අවශ්‍යතා සපුරාලන බව තහවුරු කිරීමත්, වාහන පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීමත් නව රෙගුලාසිවල අරමුණ වේ.
නව අවශ්‍යතා පිළිබඳව වාහන හිමිකරුවන් සහ මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා තිබේ.


