ශ්‍රී ලංකාවේ ලෝක ශූර හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ආපසු ශ්‍රී ලංකාවට පැමිණෙන අතරතුර හානිවීම හේතුවෙන්, ඔහුට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට රජය කටයුතු කරන බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කරයි.
ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා, තරංගගේ පුහුණුවීම් සහ ඉදිරි තරග සඳහා වන සූදානමට බාධාවක් නොවන පරිදි, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් නව හෙල්ල කට්ටලයක් රජයේ වියදමින් කඩිනමින් මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
“අපේ මලල ක්‍රීඩා තරුව සහ ඔහුගේ ඔලිම්පික් සිහිනය වෙනුවෙන් අපේ රජය අඛණ්ඩව ඔහු පිටුපසින් සිටිනවා,” යනුවෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
තරංග සතුව තිබූ හෙල්ල පහම හංගේරියාවේ බුඩාපෙස්ට් සිට ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් ගමන අතරතුර හානියට පත්ව ඇති බව අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම හානිය සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමෙන් වන්දි ලබාගැනීම පිළිබඳවද රජය සලකා බලමින් සිටින අතර, ඒ සම්බන්ධයෙන් ගත හැකි නීතිමය සහ රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ග පිළිබඳවද අවධානය යොමුකර ඇති බව අමාත්‍යාංශය පවසයි.
ලෝක මලල ක්‍රීඩා Ultimate Championship තරගාවලියේ සහ ඩයමන්ඩ් ලීග් අවසන් තරගයේ ශූරයා බවට පත්වීමෙන් අනතුරුව රුමේෂ් තරංග ශ්‍රී ලංකාවට පැමිණියේය.
ඉදිරියේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරග සඳහා තරංග සූදානම් වන අතරතුර ඔහුට අවශ්‍ය රාජ්‍ය සහාය සහ පහසුකම් අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යාංශය සඳහන් කරයි.
එම සහාය ඔහුගේ ඉදිරි ජාත්‍යන්තර තරග ඉලක්ක කරගනිමින් මෙන්ම 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා වන සූදානම වෙනුවෙන්ද ලබාදීමට රජය අපේක්ෂා කරයි.


