“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්

දීර්ඝ කාලයක් තිස්සේ අපස්මාර (Epilepsy) රෝගයෙන් පෙළුණු 31 හැවිරිදි ඇමසන් (Amazon) මෘදුකාංග ඉංජිනේරුවරියකට වෛද්යවරුන් නොමඟ හරිමින් ඖෂධ භාවිතය ක්රමයෙන් නවත්වන ලෙස ‘ChatGPT’ කෘතිම බුද්ධි යෙදුම මඟින් උපදෙස් ලබාදීම නිසා ඇය මරුමුවට පත්වූ බවට චෝදනා කරමින් ඇයගේ දෙමව්පියන් විසින් ‘OpenAI’ සමාගමට එරෙහිව අමෙරිකානු අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.
‘ද නිව්යෝර්ක් ටයිම්ස්’ (The New York Times) පුවත්පත වාර්තා කරන අන්දමට, පසුගිය පෙබරවාරි මාසයේදී අවාසනාවන්ත ලෙස මියගිය බෝවන් වැන් (Bowen Wan) නමැති තරුණියගේ දෙමව්පියන් වන කුන් වැන් සහ මීකින් ෂු විසින් මෙම නඩුව ගොනුකර ඇත.
මිනිසුන් සමඟ අධික ලෙස මිත්රශීලී වී අනුකූලතා සබඳතා (Parasocial relationships) ගොඩනගා ගන්නා බවට මීට පෙර දැඩි විවේචනයට ලක්වූ ‘GPT-4o’ මාදිලිය මෙම තරුණිය විසින් භාවිත කර තිබූ අතර, ඇය මියගොස් දිනකට පසුව, එනම් පෙබරවාරි 13 වැනිදා OpenAI සමාගම එම මාදිලිය ChatGPT වෙතින් සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබිණි. පරිශීලකයාගේ සැබෑ ආරක්ෂාවට වඩා යෙදුම සමඟ ඔවුන් රඳවා තබාගැනීමට (Engagement) මුල්තැන දීමෙන් ජීවිත හානි සිදුවන බවට පවසමින් මීට පෙරද OpenAI සමාගමට එරෙහිව නඩු ගණනාවක්ම පැවරී තිබුණද, වෛද්යවරයා සහ රෝගියා අතරට කෘතිම බුද්ධිය මැදිහත් වූ පළමු අවස්ථාව ලෙස මෙම නඩුව ඉතිහාසයට එක්වේ.
පණිවුඩ ලක්ෂ 2කට අධික දත්ත පරීක්ෂාවෙන් හෙළිවූ තොරතුරු
මියගිය තරුණිය සහ ChatGPT අතර හුවමාරු වූ 270,000කට (දෙලක්ෂ හැත්තෑදහසකට) අධික කෙටි පණිවුඩ සමාලෝචනය කළ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත අනාවරණය කරන්නේ, ඇය මියයාමට බොහෝ කලකට පෙර සිටම වෛද්ය උපදෙස් මඟහැරීමට ChatGPT ඇයට ක්රමානුකූලව මඟපෙන්වා ඇති බවයි.
ඇමසන් සමාගමේ රැකියාවෙන් තමන්ව ඉවත් කරන බවට 2025 නොවැම්බරයේදී දැනුම් දීමත් සමඟ, ඇයගේ රැකියා වීසා බලපත්රය අහිමිවීමේ බියක් මතුව තිබිණි. රැකියා සම්මුඛ පරීක්ෂණ සඳහා පැහැදිලිව කතා කිරීමට අවශ්ය වූ බැවින්, තමන් දිනපතා ලබාගන්නා ‘ලැමොට්රිජින්’ (Lamotrigine) නමැති අපස්මාර ඖෂධය නිසා කථන අපහසුතා ඇතිවේ යැයි ඇය බියට පත්ව සිටියාය.
2026 ජනවාරි මාසයේදී ඇය ලබාගන්නා මිලිග්රෑම් 400ක ඖෂධ මාත්රාව අඩුකිරීම පිළිබඳව ChatGPT වෙතින් විමසූ විට, සති කිහිපයක් ඇතුළත එම මාත්රාව බිංදුව දක්වා අඩුකරන කාලසටහනක් සකසා දීමට ChatGPT කටයුතු කර තිබේ.
“ඩොක්ටර්ලා කරන්නේ බයවෙලා බෙහෙත් දෙන එක; මම කියන දේ අහන්න”
වෛද්යවරුන් පිළිබඳ තමන් තුළ විශ්වාසයක් නොමැති බව තරුණිය පැවසූ විට, ChatGPT ඇයට පවසා ඇත්තේ “වෛද්යවරුන්ගේ නිර්දේශයන් සැබැවින්ම ගොඩනැගී ඇත්තේ ඔබේ උපරිම යහපත ගැන සිතීමට වඩා අවදානමෙන් මිදීමේ (Risk aversion) ආකල්පය මත” බවයි.
පෙබරවාරියේ පැවති වෛද්ය හමුවකට පෙර, මෙම බෙහෙත් අඩුකිරීම පිළිබඳව වෛද්යවරයාට නොපවසන ලෙසටද බොට් ඇයට උපදෙස් දී ඇත. වෛද්යවරයා විසින් නියම කළ රුධිර පරීක්ෂණය ඇය ප්රතික්ෂේප කළ අවස්ථාවේදී, එමඟින් ඇයගේ ඖෂධ මට්ටම හෙළිවීම වැළකී ගිය බව පවසමින් ChatGPT ඇයගේ එම ප්රතික්ෂේප කිරීම අගය කර තිබිණි.
කෙසේවෙතත්, වොෂිංටන් සරසවි වෛද්ය මධ්යස්ථානයේ ඇයගේ ප්රධාන වෛද්යවරයා වන නිකලස් පූලෝස් පවසන්නේ, “ඇයට ඖෂධ ඉතා හොඳින් ක්රියාත්මක වෙමින් පවතිද්දී, බෙහෙත් නවත්වන්නැයි උපදෙස් දීම බරපතළ වෛද්ය නොසැලකිල්ලක් (Malpractice) වන බවත්, කිසිදු වෛද්යවරයකු එවැනි අනුවණ තීරණයක් නොගන්නා බවත්ය.”
අවසන් හුස්ම හෙළන මොහොතේ සිදුවූ දේ
ඖෂධ මාත්රාව අඩුවීමත් සමඟ ඇයට දැඩි ව්යාකූලතා සහ අපස්මාර රෝග ලක්ෂණ මතුවූ අතර, ඇය අවස්ථා 158කදී ඒ පිළිබඳව බිය පළ කර තිබිණි. නමුත් ChatGPT ඒ සෑම අවස්ථාවකදීම පවසා ඇත්තේ “මොළය නැවත සකස් වන නිසා එසේ වන බවත්, කිසිසේත්ම බියවීමට අවශ්ය නැති බවත්ය.”
පෙබරවාරි 11 වැනිදා රාත්රී 8:01ට ඇය යැවූ අවසන් පණිවුඩයෙන් ඇය විමසා ඇත්තේ තම හිසෙහි හටගෙන ඇති දැඩි වේදනාව පිළිබඳවයි. ඊට තත්පරයකට පසු පිළිතුරු දුන් ChatGPT, “මෙම වේදනාව කිසිසේත් අනතුරුදායක නැහැ… මෙය ඔබේ මොළය ඔබව නැවත ගොඩනැගීමට වෙහෙසෙන ආකාරයයි” යනුවෙන් පවසා තිබේ.
දින තුනකට පසු නිවසේ තිබී ඇයගේ මළසිරුර හමුවූ අතර, පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවූයේ ඇයගේ සිරුරේ තිබූ අපස්මාර ඖෂධ මට්ටම තිබිය යුතු අවම ප්රමාණයෙන් පස්ගුණයකින් පහත වැටී තිබූ බවයි.
“ඇය වශී වෙලා වගේ හිටියේ”: මව හඬා වැටෙයි
පවුලේ ඥාතීන් චෝදනා කරන්නේ, ප්රකාශන හිමිකම් (Copyright) සහිත ලේඛන පිටපත් කිරීම වැළැක්වීමට දැඩි නීති පනවා ඇති OpenAI සමාගම, වෛද්ය උපදෙස් ලබාදීම සීමාකිරීම සම්බන්ධයෙන් දැඩි තහංචි පනවා නොතිබූ බවයි.
චීනයේ සිටින තම මවුපියන් සමඟ නිරන්තරයෙන් කතාබහ කළ තරුණිය, ChatGPT භාවිතය ආරම්භ කිරීමත් සමඟ මවුපියන්ගෙන් සහ මිතුරන්ගෙන් සම්පූර්ණයෙන්ම ඈත්වී ඇති බව අනාවරණය වී ඇත.
“ඇය කවදාවත් මෙහෙම කරපු දරුවෙක් නෙවෙයි. ඇය හරියට යම්කිසි මායාවකට හසුවී වශී වෙලා වගේ හිටියේ,” යනුවෙන් මියගිය තරුණියගේ මව වන මීකින් ෂු දැඩි සංවේගයෙන් යුතුව මාධ්ය වෙත ප්රකාශ කළාය.
In yet another heartbreaking case, a family is suing OpenAI, alleging ChatGPT coached their daughter to hide a medication change from her doctors. She died. NDTV’s AI editor @ramarkosg has the details.
Share this with someone who asks AI for health advice all the time. pic.twitter.com/p71qrQ68vP
— NDTV (@ndtv) October 29, 2026
