පසුගිය මාසයේ චීනයේ පැවති ලෝක මානවරූපී රොබෝ ක්‍රීඩා උළෙලේදී රොබෝවරු පැනීම, බොක්සිං සහ නර්තනය ඇතුළු ක්‍රියාකාරකම්වල නිරත වූහ. වේගවත්ම රොබෝවරු මීටර් 100 ධාවනයේදී උසේන් බෝල්ට්ගේ වේගයද අභිබවා යන ආකාරය දැකගත හැකි විය. රොබෝවරුන්ගේ වේගයෙන් දියුණු වන හැකියාවන් මෙන්ම ඔවුන්ගේ විහිළු සහගත වැටීම්ද නරඹන්නන්ගේ උද්යෝගයට හේතු විය.
එහෙත් තරගාවලිය අවසන් වී දින දෙකකට පසු, චීන මහජන විමුක්ති හමුදාවේ නිල පුවත්පත වන PLA Daily එම ප්‍රදර්ශනයෙන් වෙනස්ම නිගමනයක් ඉදිරිපත් කළේය. රොබෝ “සටන්කරුවන්” සඳහා අති නවීන තාක්ෂණයන් පර්යේෂණාගාරවලින් හමුදා පුහුණු භූමිය වෙත කඩිනමින් ගෙන යන ලෙස පර්යේෂකයන්ගෙන් එම පුවත්පත ඉල්ලා සිටියේය.
රොයිටර්ස් විසින් පරීක්ෂා කළ චීන හමුදා මිලදී ගැනීම් පිළිබඳ දැන්වීම් 100කට වැඩි සංඛ්‍යාවක්, අධ්‍යයන පත්‍රිකා, පේටන්ට් බලපත්‍ර, නිල ප්‍රකාශන, රජයේ වාර්තා සහ ආරක්ෂක සමාගම්වල තොරතුරු අනුව, චීන ආරක්ෂක අංශය මානවරූපී රොබෝවරුන්ගේ හමුදාමය භාවිතයන් පිළිබඳ පර්යේෂණ වේගවත් කරමින් සිටින අතර, අනාගත යුද තත්ත්වයන්හිදී ඒවා යෙදවීම සඳහා සැලසුම් කරමින් සිටී.
මෙතෙක් ප්‍රසිද්ධියට පත් නොවූ එම වාර්තා පෙන්වා දෙන්නේ චීන හමුදා ආයතන යුද පිටියේ අවශ්‍යතා අනුව මානවරූපී රොබෝවරු පරීක්ෂා කරමින්, ඒවා පුහුණු කිරීම සඳහා රොබෝවරු සහ අදාළ තාක්ෂණයන් මිලදී ගැනීමට උත්සාහ කරමින් සහ සෙබළුන් සමඟ එම රොබෝවරු ක්‍රියාත්මක විය හැකි ආකාරය අධ්‍යයනය කරමින් සිටින බවයි. මෙම කටයුතු 2025 සහ 2026 වසරවලදී වේගවත් වී ඇති අතර, රොබෝවරුන්ගේ සංවේදන හැකියාව, වස්තු හැසිරවීම සහ පුහුණු දත්ත කෙරෙහි විශේෂ අවධානය යොමු වී තිබේ.
BofA Global Research අනුව, 2025 වසරේ ලොව පුරා අලෙවි වූ මානවරූපී රොබෝවරුන්ගෙන් සියයට 95ක් පමණ චීන නිෂ්පාදකයන් සතු විය. එම වාණිජ ආධිපත්‍යය හේතුවෙන් චීන හමුදාවට වේගයෙන් පුළුල් වන රොබෝ කර්මාන්තයකින් ප්රතිලාභ ලබාගනිමින් තමන්ගේම හමුදාමය යෙදුම් දියුණු කිරීමට අවස්ථාව ලැබී තිබේ.
චීනයේ රොබෝ ආරක්ෂක පර්යේෂණ මගින් ලොව පුරා හමුදා තාක්ෂණය කෙතරම් වේගයෙන් වෙනස් වෙමින් පවතින්නේද යන්නද අවධාරණය කරයි. රුසියා-යුක්රේන යුද්ධයේදී කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් මාර්ග හඳුනාගැනීම සහ ඉලක්ක තීරණය කිරීමේ හැකියාව ඇති අර්ධ ස්වයංක්‍රීය ඩ්‍රෝන යානා ඔත්තු බැලීම් සහ ප්‍රහාරක මෙහෙයුම් විශාල ලෙස වෙනස් කර තිබේ. රොබෝවරු සැපයුම් රැගෙන යාමට සහ තුවාලකරුවන් ඉවත් කිරීමටද යොදා ගැනෙති.
එම තාක්ෂණික පරිණාමය හේතුවෙන් ස්වයංක්‍රීය පද්ධති කෙරෙහි ලොව පුරා හමුදා ආයතනවල අවධානය වැඩි වෙමින් පවතී.
කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ලොස් ඇන්ජලීස් ශාඛාවේ යාන්ත්‍රික හා අභ්‍යවකාශ ඉංජිනේරු මහාචාර්ය ඩෙනිස් හොං පැවසුවේ මිනිසුන් යැවීමට අප අකමැති ස්ථානවලට රොබෝවරු යැවීම එවැනි තාක්ෂණයක් දියුණු කිරීමට ඇති ප්‍රධාන හේතුවක් බවයි.
“රොබෝවෙකු අහිමි වීමෙන් මිනිස් ජීවිතයක් අහිමි වීම වළක්වාගත හැකි නම්, එම රොබෝවෙකු වැය කළ හැකි සම්පතක් බවට පත්විය හැකියි,” ඔහු පැවසීය.
චීන ආරක්ෂක අමාත්‍යාංශය සහ චීන මහජන විමුක්ති හමුදාවේ ප්‍රමුඛතම පර්යේෂණ ආයතනය වන ජාතික ආරක්ෂක තාක්ෂණ විශ්වවිද්‍යාලය මානවරූපී රොබෝවරුන්ගේ හමුදාමය භාවිතය පිළිබඳ අදහස් දැක්වීම සඳහා රොයිටර්ස් කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වා නොතිබිණි.
කෙසේ වෙතත්, චීනය විසින් සන්නද්ධ මානවරූපී රොබෝවෙකු ක්‍රියාකාරී මහජන විමුක්ති හමුදා ඒකකයක් සමඟ මෙහෙයුම් සඳහා යොදවා ඇති බවට කිසිදු සාක්ෂියක් රොයිටර්ස් වෙත හමු වී නොමැත.
දැනට මෙම රොබෝවරු විශාල ශක්ති ප්‍රමාණයක් අවශ්‍ය කරන අතර පාලිත ප්‍රදර්ශන පරිසරයෙන් පිටතදී විශ්වාසදායක ලෙස ක්‍රියා කිරීමටද අපහසුය. කාර්නෙගී මෙලන් විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු මහාචාර්ය ඇරන් ජොන්සන් පෙන්වා දුන්නේ යුද පිටියේ පවතින අනපේක්ෂිත තත්ත්වයන් සහ විවිධ විචල්‍යයන් රොබෝවරුන්ගේ හැකියාවන්ට දැඩි අභියෝගයක් එල්ල කරන බවයි.
නගර යුද්ධ සඳහා චීනයේ සැලැස්ම
මානවරූපී රොබෝවරුන් නාගරික යුද්ධ සඳහා භාවිත කිරීම සම්බන්ධයෙන් චීනය දැනටමත් නිශ්චිත දැක්මක් ඉදිරිපත් කර තිබේ.
“සටන් රොබෝවරු” හය දෙනෙකු, එනම් මානවරූපී රොබෝවරු, රොබෝ සුනඛයන් හෝ මිනිසුන් රහිත වාහන, ප්‍රහාරක කණ්ඩායම් දෙකක් අතර බෙදා වෙන් කර යෙදවීම එහි එක් සැලසුමකි. බිම් හමුදා සමඟ එක්ව ක්‍රියා කරමින් සතුරු පාලනය යටතේ ඇති ගොඩනැගිල්ලක් මහලෙන් මහලට සහ කාමරයෙන් කාමරයට පරීක්ෂා කර පාලනයට ගැනීම එම රොබෝවරුන්ගේ කාර්යයක් ලෙස සැලසුම් කර තිබේ.
ජාතික ආරක්ෂක තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ෂියාන් පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂකයන් විසින් 2025 අගෝස්තු මාසයේ පළ කළ පර්යේෂණ පත්‍රිකාවක මෙම තත්ත්වය විස්තර කර තිබිණි.
වසර පහත් දහයත් අතර කාලයක් තුළ ලබාගත හැකි යැයි පර්යේෂකයන් අපේක්ෂා කළ උපකරණ භාවිත කරමින් නාගරික ප්‍රහාරක බලකායක් ක්‍රියාත්මක වන ආකාරය එහි ආකෘතිගත කර තිබුණි. එහෙත් එම රොබෝවරුන්ට අදාළ නිරතවීමේ නීති, ඔවුන් රැගෙන යන ආයුධ හෝ සිවිල් වැසියන් හමුවූ විට ඔවුන් කටයුතු කරන ආකාරය පිළිබඳව එහි සඳහන් කර නොතිබිණි.
තායිවානයේ ජාතික ආරක්ෂක හා ආරක්ෂක පර්යේෂණ ආයතනයේ පර්යේෂක ජුඕ-මින් චෝ පැවසුවේ සමබරතාව, සංවේදනය සහ දිගු වේලාවක් ක්‍රියාත්මක වීමේ හැකියාව වැඩිදියුණු කළහොත් ගොඩනැගිලි, උමං මාර්ග සහ නැව් අභ්‍යන්තරය වැනි ස්ථානවල මානවරූපී රොබෝවරු ප්‍රයෝජනවත් විය හැකි බවයි.
“ඔවුන්ගේ අත් දෙක සහ පාද දෙක මගින් න්‍යායාත්මකව ගමන් කිරීම, නැගීම සහ වස්තු හැසිරවීම යන හැකියාවන් එකට සම්බන්ධ කළ හැකියි,” ඇය පැවසුවාය.
කෙසේ වෙතත්, සරල ඔත්තු බැලීම් හෝ භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් සඳහා පාද හතරක් සහිත, ධාවන පථ සහිත හෝ රෝද සහිත රොබෝවරු සාමාන්‍යයෙන් අඩු වියදමකින් විශාල පරිමාණයෙන් යෙදවීමට පහසු බවද ඇය සඳහන් කළාය.
“සටන් සඳහා ප්‍රධාන භූමිකාවකට”
චීන හමුදා විශ්ලේෂණවල මානවරූපී රොබෝවරුන්ට පැවරිය හැකි භූමිකා ක්‍රමයෙන් පුළුල් වෙමින් පවතී.
2025 ජූලි මාසයේ PLA Daily පුවත්පතේ පළ වූ ලිපියක සඳහන් වූයේ මානවරූපී රොබෝ මෙහෙයුම් අනාගතයේදී “සටනට සහාය වීමේ සිට ප්‍රධාන සටන් භූමිකාවක් දක්වා” වර්ධනය විය හැකි බවයි. මිනිසෙකු විසින් තහවුරු කළ ජීවමාන ඉලක්කයකට රොබෝවෙකුට වෙඩි තැබීමට අවසර ලබාදිය හැකි ආකාරය පිළිබඳවද එහි සාකච්ඡා කර තිබිණි.
පසුගිය දෙසැම්බරයේ චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර යුද ප්‍රදේශ අණදෙන මූලස්ථානය කෘත්‍රිම බුද්ධිය මගින් නිර්මාණය කළ වීඩියෝ එකතුවක් නිකුත් කළේය. අනාගත යුද්ධයකදී මානවරූපී රොබෝවරුන් සහ පාද හතරක් සහිත රොබෝවරු ඇතුළු හමුදා රොබෝ පද්ධති තායිවානයේ ආරක්ෂාව අභිබවා යන ආකාරය එහි උපකල්පිතව පෙන්වා තිබුණි.
ඇමරිකාවත් මානවරූපී හමුදා රොබෝවරු සොයයි
යුද පිටියේ මානවරූපී රොබෝවරු භාවිත කිරීම පිළිබඳව අවධානය යොමු කර ඇත්තේ චීනය පමණක් නොවේ.
පසුගිය වසරේ ඇමරිකානු යුද හමුදාව සෙබළුන් සමඟ අනාගතයේදී ක්‍රියා කළ හැකි “හමුදාකරණය කළ මානවරූපී හැකියාවන්” සංවර්ධනය කිරීම සඳහා තරගයක් ආරම්භ කළේය.
ඔත්තු බැලීම, ආරක්ෂාව, බාධක ඉවත් කිරීම, අනතුරුදායක ද්‍රව්‍ය සම්බන්ධ මෙහෙයුම් මෙන්ම නාගරික ප්‍රදේශවල ප්‍රහාරක සහ ආරක්ෂක මෙහෙයුම් එවැනි රොබෝවරුන් සඳහා යෝජිත භූමිකා අතරට ඇතුළත් විය.
අවසන් තරගකරුවන් 10 දෙනෙකු දක්වා පිරිසකට මෙම වසරේදී ඇමරිකානු හමුදා විශේෂඥයන් සමඟ තම පද්ධති පරීක්ෂා කිරීමට අවස්ථාව ලබාදීමට නියමිතව තිබූ අතර, ඉදිරි කොන්ත්‍රාත් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1.25ක් දක්වා මුදලක් ලබාදීමටද සැලසුම් කර තිබිණි.
කෙසේ වෙතත්, කකුල් දෙකකින් සහ කකුල් හතරකින් ගමන් කරන යන්ත්‍ර සංවර්ධනය කිරීමේදී ඇමරිකානු රොබෝ කර්මාන්තය චීනයට වඩා බොහෝ පසුපසින් සිටී.
2025 සිට චීන හමුදා උනන්දුව වේගවත් වෙයි
මානවරූපී රොබෝවරුන්ගේ හමුදාමය භාවිතය පිළිබඳ චීනයේ උනන්දුව 2024 වසරේ සිට වේගයෙන් ඉහළ ගොස් තිබේ.
එම වසරේදී ජාතික ආරක්ෂක තාක්ෂණ විශ්වවිද්‍යාලය සහ චීන හමුදා විද්‍යා ඇකඩමිය එක්ව පැවැත්වූ ආරක්ෂක තාක්ෂණ සමුළුවකදී මානවරූපී පද්ධතිවල හමුදාමය යෙදුම් පිළිබඳ සැසියක්ද පැවැත්විණි.
2025 වන විට එම විශ්වවිද්‍යාලය මානවරූපී රොබෝවරුන් යුද පිටියේ භාවිත කළ හැකි උපකරණ ලෙස පැහැදිලිව ඉදිරිපත් කිරීමට පටන් ගත්තේය.
2025 ජුනි මාසයේ පැවති විශ්වවිද්‍යාල තරගයකදී “සතුරු රේඛා පිටුපසට රිංගා යාම” අනුකරණය කරන තරග අංගයක් පැවති බව එහි වෙබ් අඩවියේ සඳහන් විය. එහිදී රොබෝවරුන්ට ප්‍රදේශයකට ඇතුළු වී එය සිතියම්ගත කර ඉලක්ක හඳුනාගැනීමට සිදුවිය.
තවත් අංගයකින් හමුදා කඳවුරුවල අනන්‍යතා පරීක්ෂා කිරීම, විනය පරීක්ෂා කිරීම සහ ආරක්ෂක මුර සංචාර සිදුකරන රොබෝවරුන් පිළිබඳව අනුකරණයක් සිදුකර තිබිණි.
මෙම තරගය අවසානයේ මානවරූපී රොබෝවරුන් “යුද පිටිය වෙත ගමන් කිරීම” සඳහා පරීක්ෂණ භූමියක් ලෙස විස්තර කර තිබුණි.
එම අරමුණට අදාළ මිලදී ගැනීම් පිළිබඳ වාර්තාද ඒ සමයේ දක්නට ලැබිණි.
2025 මැයි මාසයේදී චීන මහජන විමුක්ති හමුදාව මානවරූපී රොබෝවෙකු මිලදී ගැනීම සඳහා ටෙන්ඩරයක් කැඳවා තිබූ අතර, ස්ථාපනය සහ තාක්ෂණික පුහුණුවද ඊට ඇතුළත් විය.
මාස හතරකට පසු, ජාතික ආරක්ෂක තාක්ෂණ විශ්වවිද්‍යාලයේ විද්‍යුත් තැපැල් ලිපිනයක් සම්බන්ධතා ලිපිනය ලෙස සඳහන් කර තිබූ තවත් මිලදී ගැනීමේ දැන්වීමකින් “මානවරූපී රොබෝ බුද්ධිමය සංවේදන සහ දක්ෂ හැසිරවීමේ පද්ධතියක්” සඳහා ඉල්ලීමක් කර තිබිණි.
කෙසේ වෙතත්, මෙම මිලදී ගැනීම්වල නිශ්චිත තොරතුරු සීමිතය. එම ටෙන්ඩර් සඳහා සැපයුම්කරුවන් තෝරාගෙන තිබේද, එසේ නම් ජයග්‍රහණය කළ සමාගම් හෝ සැපයූ රොබෝ මාදිලි මොනවාද යන්න තීරණය කිරීමට රොයිටර්ස්ට නොහැකි වී තිබේ.
මේ වසරේ ජුනි මාසයේදී මානවරූපී රොබෝවරුන් සඳහා කැමරා, රේඩාර් සහ චලන දත්ත එකතු කර ඒවා වර්ගීකරණය කිරීමේ පද්ධතියක් සඳහා චීන හමුදාව ඇමරිකානු ඩොලර් 300,000කට ආසන්න මුදලක් වෙන් කර තිබූ බව තවත් හමුදා මිලදී ගැනීමේ ලේඛනයක සඳහන් විය.
එම දත්ත අතර රොබෝවරුන්ට ගමන් කළ හැකි භූමි ප්‍රදේශ පිළිබඳ තොරතුරුද ඇතුළත් විය.
මෙයින් පැහැදිලි වන්නේ චීන හමුදා පර්යේෂණය රොබෝවරුන්ගේ භෞතික හැඩය පමණක් නොව, ඔවුන්ට පරිසරය හඳුනාගැනීමට, වස්තු හැසිරවීමට සහ පුහුණු වීමට අවශ්‍ය පද්ධති දක්වා පුළුල් වී ඇති බවයි.
ආරක්ෂක කර්මාන්තයටත් මානවරූපී රොබෝවරු
2026 වන විට මානවරූපී රොබෝ සංවර්ධනය හමුදා අධ්‍යාපන ක්ෂේත්රයෙන් ඔබ්බට චීනයේ ආරක්ෂක කර්මාන්තය දක්වාද ව්‍යාප්ත වී තිබේ.
රාජ්‍ය අයිතිය සහිත ආරක්ෂක දැවැන්ත සමාගමක් වන නෝරින්කෝ නිෂ්පාදනය කරන “ෆුෂි” රොබෝව එයට එක් උදාහරණයකි.
අගෝස්තු මාසයේ පළ කළ සමාගමේ තොරතුරු අනුව, සම්පූර්ණ ප්‍රමාණයේ එම මානවරූපී රොබෝවට මුරකාරක රාජකාරි, සියලු කාලගුණික තත්ත්වයන් යටතේ ඔත්තු බැලීම්, බුද්ධිමත් මුර සංචාර සහ අනතුරුදායක රාජකාරි සිදුකිරීමේ හැකියාව ඇති බව සඳහන් කර තිබේ.
නෝරින්කෝ සමාගමේ දුරස්ථ පාලන පද්ධතිය සමඟ ෆුෂි රොබෝව සම්බන්ධ කළ හැකි අතර, එමගින් මිනිස් ක්‍රියාකරුවෙකුට රොබෝව දුරස්ථව පාලනය කළ හැකිය.
රොබෝවෙකුට සියලු තීරණ ස්වයංක්‍රීයව ගැනීමට ඇති අවශ්‍යතාව ඉවත් කිරීම, මානවරූපී රොබෝවරු සම්බන්ධයෙන් විශේෂඥයන් පෙන්වා දෙන ප්‍රධාන අභියෝගයක් විසඳීමට උපකාරී විය හැකිය.
නෝරින්කෝ සමාගමද මේ සම්බන්ධයෙන් රොයිටර්ස් කළ විමසීමට ප්‍රතිචාර දක්වා නොතිබිණි.
ඕස්ට්‍රේලියානු උපායමාර්ගික ප්‍රතිපත්ති ආයතනයේ ජ්‍යෙෂ්ඨ විශ්ලේෂක මැල්කම් ඩේවිස් පැවසුවේ මේ වන විට මානවරූපී රොබෝවරු ප්‍රායෝගික යුද පිටියේ පද්ධති ලෙස තමන් නොදකින බවයි.
“නමුත් තවත් වසර පහත් දහයත් අතර කාලයකදී ඔවුන් එසේ වීමට ඉතා හොඳින් ඉඩ තිබෙනවා,” ඔහු පැවසීය.
ස්වයංක්‍රීය ආයුධ පිළිබඳ සදාචාරාත්මක ගැටලු
අද දුරස්ථව පාලනය කළද, අනාගතයේ ස්වයංක්‍රීයව යෙදවීම සඳහා නිර්මාණය කරන මානවරූපී රොබෝ පද්ධති සදාචාරාත්මක ගැටලු රැසකට මුහුණ දෙනු ඇත.
යුද නීතිය අනුව සටන්කරුවන් සහ සිවිල් වැසියන් අතර වෙනස හඳුනාගත යුතු අතර, තුවාල ලැබූ හෝ යටත් වූ සටන්කරුවන්ට පහර නොදිය යුතුය.
ජාත්‍යන්තර රතු කුරුස කමිටුව පෙන්වා දී ඇත්තේ යටත් වීමේ සලකුණු නිවැරදිව හඳුනාගැනීම ස්වයංක්‍රීය ආයුධ සඳහා අභියෝගයක් විය හැකි බවයි. එවැනි තීරණ ගැනීම බොහෝ විට තත්ත්වය, හැසිරීම සහ අභිප්‍රාය වැනි කරුණු මත රඳා පවතින බැවිනි.
ඇමරිකානු හමුදාව ස්වයංක්‍රීය ආයුධ නීතිමය සමාලෝචනයකට සහ යථාර්ථවාදී පරීක්ෂණවලට ලක් කළ යුතු බවට නීති පනවා ඇති අතර, බලය භාවිත කිරීමේදී අණදෙන නිලධාරීන් සහ ක්‍රියාකරුවන් සුදුසු විනිශ්චයක් භාවිත කළ යුතු බවද අවධාරණය කරයි.
චීන ආරක්ෂක අමාත්‍යාංශයද මේ වසරේ මාර්තු මාසයේදී කෘත්‍රිම බුද්ධිය මත ක්‍රියාත්මක වන ආයුධ මානව පාලනය යටතේ පැවතිය යුතු බව ප්‍රකාශ කර තිබිණි.
එහෙත් එම ගැටලු චීනයේ මානවරූපී රොබෝවරුන්ගේ හමුදාමය භාවිතය පිළිබඳ පර්යේෂණ අඩාල කර නැත.
චීන හමුදා විද්‍යා ඇකඩමියේ පර්යේෂක වැන්ග් යොංහුවා පසුගිය නොවැම්බරයේ පළ කළ විශ්ලේෂණයක සඳහන් කළේ මානවරූපී රොබෝවරුන් තවමත් චලනය, සංවේදනය සහ බුද්ධිමය හැකියාව සම්බන්ධයෙන් විසඳා නොගත් ගැටලු රැසකට මුහුණ දෙන බවයි.
මානවරූපී රොබෝවරු පුළුල් ලෙස හමුදා පද්ධති බවට පත්වීමට තාක්ෂණික පෙරළියන්, නිෂ්පාදන පිරිවැය අඩු කිරීම සහ කාර්මික මට්ටමේ මහා පරිමාණ නිෂ්පාදනය අවශ්‍ය වන බවද ඔහු සඳහන් කළේය.
එම කොන්දේසි සපුරාලීමට හැකි වුවහොත්, වැන්ග් පවසන පරිදි, “මානවරූපී රොබෝවරු යුද පිටියට ගලා එනු ඇත.”



