තේ පානය කරන ආකාරය හෘද සෞඛ්‍යයට බලපාන බව නව අධ්‍යයනයකින් හෙළි වෙයි

තේ පානය කරන ආකාරය අනුව එමගින් හෘද සෞඛ්‍යයට ලැබෙන ප්‍රතිලාභ වෙනස් විය හැකි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබේ. පානය කරන තේවල උෂ්ණත්වය, තේවල ප්‍රබලතාව සහ තේ වර්ගය හෘද වාහිනී සෞඛ්‍යයට බලපෑම් කළ හැකි බව එම අධ්‍යයනය පෙන්වා දෙයි.

CNN වාර්තාවකට අනුව, Journal of Internal Medicine සඟරාවේ බදාදා පළ වූ මෙම අධ්‍යයනයෙන් හෙළි වී ඇත්තේ නිතිපතා තේ පානය කරන පුද්ගලයන්ට හෘද වාහිනී රෝග ඇතිවීමේ අවදානම අඩු බවත්, අධික උෂ්ණත්වයකින් යුත් තේ පානය කරන පුද්ගලයන්ට එම අවදානම ඉහළ යා හැකි බවත්ය.

වයස අවුරුදු 30ත් 79ත් අතර චීන වැඩිහිටියන් 485,000කට අධික පිරිසකගේ දත්ත පර්යේෂකයෝ විශ්ලේෂණය කළහ. එහිදී ඔවුන්ගේ තේ පානය කරන වාර ගණන, කැමති තේ වර්ගය, තේවල ප්‍රබලතාව සහ පානය කරන උෂ්ණත්වය ඇතුළු කරුණු සලකා බලා තිබේ.

සාමාන්‍යයෙන් වසර නවයකට ආසන්න කාලයක් සිදු කළ පසු විපරමේදී හෘදයාබාධ, ආඝාත සහ පර්යන්ත ධමනි රෝග ඇතුළු හෘද වාහිනී රෝග අවස්ථා 14,800කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

සතියකට අවම වශයෙන් දින තුනක්වත් තේ පානය කළ පුද්ගලයන්ට, ඊට වඩා අඩුවෙන් තේ පානය කළ පුද්ගලයන්ට සාපේක්ෂව රුධිර වාහිනී ආශ්‍රිත රෝග ඇතිවීමේ අවදානම සියයට 11කින් පමණ අඩු බව අධ්‍යයනයෙන් හෙළි වී තිබේ.

කෙසේ වෙතත්, ඉතා උණුසුම් තේ පානය කරන බව පැවසූ පුද්ගලයන්ට නිතිපතා තේ පානය නොකරන පුද්ගලයන්ට සාපේක්ෂව රුධිර වාහිනී ආශ්‍රිත රෝග ඇතිවීමේ අවදානම සියයට 16කින් ඉහළ ගොස් තිබිණි.

මධ්‍යස්ථ ප්‍රබලතාවකින් යුත් තේ පානය කිරීම අඩු හෘද වාහිනී අවදානමක් සමඟ සම්බන්ධ වී ඇති බව ද අධ්‍යයනයෙන් අනාවරණය වී තිබේ. එසේම, හරිත තේවලට වඩා කළු තේ පානය කිරීම විවිධ හෘද වාහිනී රෝග තත්ත්වයන්හි අඩු අවදානමක් සමඟ වඩාත් ස්ථාවර ලෙස සම්බන්ධ වී ඇත.

CNN සමඟ වෛද්‍ය ලීනා වෙන් කළ සාකච්ඡාව

ජෝර්ජ් වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ හදිසි ප්‍රතිකාර වෛද්‍යවරියක සහ සායනික සහකාර මහාචාර්යවරියක වන වෛද්‍ය ලීනා වෙන්, මෙම අධ්‍යයනයේ සොයාගැනීම් සහ හෘද සෞඛ්‍යයට ඒවායින් ඇති විය හැකි බලපෑම් පිළිබඳව CNN සමඟ අදහස් දැක්වූවාය.

CNN: තේ පානය සහ හෘද වාහිනී රෝග සම්බන්ධයෙන් මෙම නව අධ්‍යයනයෙන් හෙළි වූයේ කුමක්ද?

වෛද්‍ය ලීනා වෙන්: ප්‍රධාන සොයාගැනීමක් වූයේ සතියකට අවම වශයෙන් දින තුනක්වත් තේ පානය කළ පුද්ගලයන්ට, ඊට වඩා අඩුවෙන් තේ පානය කළ අයට සාපේක්ෂව රුධිර වාහිනී රෝග ඇතිවීමේ අවදානම සියයට 11කින් පමණ අඩු වීමයි.

වයස, දුම්පානය, ශාරීරික ක්‍රියාකාරකම්, ශරීරයේ බර සහ දැනට පවතින රෝග තත්ත්වයන් වැනි සාධක සැලකිල්ලට ගැනීමෙන් පසුවත් මෙම සම්බන්ධතාව දක්නට ලැබිණි. කෙසේ වෙතත්, පුරුද්දක් ලෙස තේ පානය කළ, දුම්පානය නොකළ සහ ඉහළ මට්ටමේ ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත වූ පුද්ගලයන්ට හෘද වාහිනී රෝග ඇතිවීමේ අවදානම අඩුම මට්ටමක පැවතිණි.

තවත් වැදගත් සොයාගැනීමක් වූයේ මධ්‍යස්ථ ප්‍රබලතාවකින් යුත් තේ පානය කිරීම අඩු අවදානමක් සමඟ සම්බන්ධ වීමයි. හරිත තේවලට වඩා කළු තේ පානය කිරීම විවිධ හෘද වාහිනී රෝග වර්ග සඳහා අඩු අවදානමක් සමඟ සම්බන්ධ වී තිබිණි.

සමහර විට වඩාත් පුදුම සහගත සොයාගැනීම වූයේ තේ ඉතා දැවෙන තරම් උණුසුම්ව පානය කරන බව පැවසූ පුද්ගලයන්ට, නිතිපතා තේ පානය නොකරන පුද්ගලයන්ට සාපේක්ෂව රුධිර වාහිනී රෝග ඇතිවීමේ අවදානම සියයට 16කින් ඉහළ යාමයි. ඊට වෙනස්ව, කාමර උෂ්ණත්වයේ හෝ උණුසුම් නමුත් පිළිස්සෙන තරම් උණුසුම් නොවන තේ පානය කළ පුද්ගලයන්ට නිතිපතා තේ පානය නොකළ පුද්ගලයන්ට වඩා සැලකිය යුතු ලෙස අඩු අවදානමක් පැවතිණි.

කෙසේ වෙතත්, මෙම පර්යේෂණ ක්‍රමවේදයේ සීමාවක් වන්නේ තේ පානය කරන උෂ්ණත්වය පර්යේෂකයන් විසින් සෘජුව මැන බැලීම වෙනුවට, සහභාගිවන්නන් තමන් කැමති උෂ්ණත්වය පිළිබඳව ලබාදුන් තොරතුරු මත විශ්වාසය තැබීමයි. එක් පුද්ගලයකු ඉතා උණුසුම් ලෙස සලකන තේ තවත් පුද්ගලයකුට වෙනස් ආකාරයකින් දැනිය හැකියි.

එසේම, ඉතා උණුසුම් තේ පානය කිරීමට කැමති පුද්ගලයන්ගේ ආහාර පුරුදු හෝ පර්යේෂකයන්ට සම්පූර්ණයෙන් සැලකිල්ලට ගැනීමට නොහැකි වූ වෙනත් ජීවන රටා සාධක ද ඔවුන්ගේ හෘද වාහිනී අවදානමට බලපා තිබිය හැකියි.

CNN: තේ පානය කිරීම හෘද සෞඛ්‍යයට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද?

වෛද්‍ය ලීනා වෙන්: තේවල ෆ්ලේවනොයිඩ් ඇතුළු පොලිෆීනෝල් ලෙස හැඳින්වෙන ස්වභාවික සංයෝග අඩංගු වෙනවා. මෙම සංයෝගවලට ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රදාහය අඩු කිරීමේ ගුණ තිබෙනවා.

රුධිර වාහිනීවල අභ්‍යන්තර පටලයේ සෛල ආරක්ෂා කිරීමටත්, ධමනි ලිහිල් වී ප්‍රසාරණය වීමේ හැකියාව වැඩි කිරීමටත් මෙම සංයෝග උපකාරී විය හැකියි. එමගින් රුධිර පීඩනය අඩු කර හෘදයට ඇති වන පීඩනය අවම කළ හැකියි.

තේ පානය කිරීමෙන් රුධිර පීඩනය, කොලෙස්ටරෝල් මට්ටම සහ හෘද වාහිනී සෞඛ්‍යයට අදාළ වෙනත් දර්ශක යම් තරමකින් යහපත් විය හැකි බව අධ්‍යයන කිහිපයකින් හෙළි වී තිබෙනවා. නිතිපතා තේ පානය කරන පුද්ගලයන් අතර ආඝාත, හෘදයාබාධ සහ හෘද වාහිනී රෝගවල වෙනත් බරපතළ ප්‍රතිවිපාක අඩුවෙන් දක්නට ලැබීමට මෙය හේතුවක් විය හැකියි.

තවත් වක්‍ර ප්‍රතිලාභයක් වන්නේ වෙනත් පානයක් වෙනුවට සීනි එකතු නොකළ තේ තෝරා ගැනීමයි. උදාහරණයක් ලෙස, යුෂ පානය, සෝඩා හෝ වෙනත් සීනි සහිත පානයක් වෙනුවට සීනි රහිත තේ පානය කිරීමෙන් ආහාරයට එක්වන සීනි ප්‍රමාණය අඩු වෙනවා. එය ශරීරයේ බර පාලනයට සහ පරිවෘත්තීය සෞඛ්‍යයට උපකාරී වන අතර, එමගින් හෘද වාහිනී රෝග අවදානම තවදුරටත් අඩු විය හැකියි.

CNN: තේ වර්ගය වැදගත්ද? කළු තේ සහ හරිත තේ අතර වෙනසක් තිබෙනවාද?

වෛද්‍ය ලීනා වෙන්: කළු තේ සහ හරිත තේ යන දෙවර්ගයම Camellia sinensis නම් එකම ශාකයෙන් ලබා ගන්නවා. නමුත් තේ දළු සැකසීමේ ක්‍රම වෙනස් වීම නිසා ඒවායේ අඩංගු පොලිෆීනෝල් සංයෝගවල ස්වභාවය ද වෙනස් වෙනවා.

මීට පෙර සිදු කළ අධ්‍යයනවලින් තේ වර්ග දෙකම සෞඛ්‍යයට ප්‍රයෝජනවත් බව හෙළි වී තිබෙනවා. මෙම අධ්‍යයනයේදී කළු තේ පානය කිරීම අඩු හෘද වාහිනී අවදානමක් සමඟ වඩාත් ස්ථාවර ලෙස සම්බන්ධ වී තිබුණත්, හරිත තේ පානය කිරීමෙන් ද ප්‍රතිලාභ පෙන්නුම් කර තිබෙනවා.

හරිත තේ පානය කිරීමට කැමති පුද්ගලයකුට කළු තේවලට මාරු වන ලෙස හෝ කළු තේ පානය කරන අයකුට හරිත තේවලට මාරු වන ලෙස මා උපදෙස් දෙන්නේ නැහැ. විශේෂයෙන්ම සීනි එකතු නොකර පානය කිරීමට සැලකිලිමත් වන්නේ නම්, තේ වර්ග දෙකම හෘද සෞඛ්‍යයට හිතකර ආහාර රටාවක කොටසක් විය හැකියි.

CNN: පුද්ගලයකු කොපමණ තේ ප්‍රමාණයක් පානය කළ යුතුද? අධික ලෙස තේ පානය කිරීමේ ගැටලුවක් තිබෙනවාද?

වෛද්‍ය ලීනා වෙන්: සතියකට අවම වශයෙන් වරක්වත් තේ පානය කළ අධ්‍යයන සහභාගිවන්නන් අතර, දිනකට තේ කෝප්ප හයත් අටත් අතර ප්‍රමාණයක් පානය කළ අයගේ රුධිර වාහිනී රෝග අවදානම අඩුම මට්ටමක පැවති බව ඇස්තමේන්තු කර තිබෙනවා. එම ප්‍රමාණය ඉක්මවා ඉතා වැඩි තේ ප්‍රමාණයක් පානය කිරීමේදී අවදානම යළි ඉහළ යාම ආරම්භ වී තිබෙනවා.

මෙයින් අදහස් වන්නේ සෑම පුද්ගලයකුම දිනකට තේ කෝප්ප හයක් හෝ අටක් පානය කිරීමට උත්සාහ කළ යුතු බව නොවෙයි. මෙම අධ්‍යයනයේ සොයාගැනීම් තමන්ගේම පුරුදුවලට අදාළ කර ගැනීමේදී ජනතාව ප්‍රවේශම් විය යුතුයි. ඊට හේතුවක් වන්නේ පර්යේෂකයන් තේ කෝප්ප සඳහා සම්මත ප්‍රමාණයක් භාවිත නොකිරීමත්, පානය කළ ප්‍රමාණය පිළිබඳ සහභාගිවන්නන් ලබාදුන් තොරතුරු මත ඇස්තමේන්තු පදනම් වීමත්ය. මෙම සොයාගැනීම තේ පානය කිරීම සඳහා නිර්දේශිත ප්‍රශස්ත ප්‍රමාණයක් ලෙස අර්ථකථනය නොකළ යුතු බව පර්යේෂකයෝ ද විශේෂයෙන් අවධාරණය කර තිබෙනවා.

තවත් සැලකිලිමත් විය යුතු කරුණක් වන්නේ තේවල කැෆේන් අඩංගු වීමයි. සාමාන්‍යයෙන් අවුන්ස අටක කළු තේ කෝප්පයක කැෆේන් මිලිග්‍රෑම් 30ත් 50ත් අතර ප්‍රමාණයක් තිබෙනවා. හරිත තේවල සාමාන්‍යයෙන් ඊට වඩා අඩු කැෆේන් ප්‍රමාණයක් අඩංගු වුවත්, ඇසුරුමේ කැෆේන් රහිත බව පැහැදිලිව සඳහන් කර නොමැති නම් බොහෝ හරිත තේ වර්ගවල ද කැෆේන් අඩංගු වෙනවා.

එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) සඳහන් කරන්නේ දිනකට කැෆේන් මිලිග්‍රෑම් 400ක් දක්වා ප්‍රමාණයක් බොහෝ වැඩිහිටියන් තුළ සාමාන්‍යයෙන් අනතුරුදායක බලපෑම් සමඟ සම්බන්ධ නොවන බවයි. ගර්භණී පුද්ගලයන් දිනකට කැෆේන් මිලිග්‍රෑම් 200කට සීමා කිරීමට උපදෙස් දෙන අතර, දරුවන් කැෆේන් අඩංගු පානයන් පානය නොකළ යුතුයි.

CNN: නිතිපතා තේ පානය කරන හෝ තම ආහාර රටාවට තේ එක් කිරීමට සලකා බලන පුද්ගලයන්ට ඔබ ලබාදෙන උපදෙස් මොනවාද?

වෛද්‍ය ලීනා වෙන්: ප්‍රායෝගිකව ගත් විට, මුඛය හෝ උගුර පිළිස්සෙන තරම් උණුසුම් තේ පානය කිරීමෙන් වැළකී සිටිය යුතුයි. ඉතා උණුසුම් පානයන් නැවත නැවත පානය කිරීම අන්නස්‍රෝතයේ පිළිකා ඇතිවීමේ වැඩි අවදානමක් සමඟ ද සම්බන්ධ වී තිබෙනවා.

තේ පහසුවෙන් උගුරෙන් පහළට පානය කළ හැකි උෂ්ණත්වයකට සිසිල් වීමට ඉඩ හැරීමෙන් පිළිස්සීම් වළක්වා ගත හැකි අතර, හෘද වාහිනී සෞඛ්‍යයට ලැබිය හැකි ප්‍රතිලාභ ආරක්ෂා කර ගැනීමට ද උපකාරී විය හැකියි.

පුද්ගලයන්ට තමන්ගේ කැමැත්ත අනුව සීනි එකතු නොකළ කළු තේ, හරිත තේ හෝ වෙනත් තේ වර්ග තෝරා ගත හැකියි. එසේම, විශේෂයෙන් නින්දේ ගැටලු, කාංසාව හෝ හෘද ස්පන්දනය වේගවත් වීම වැනි තත්ත්වයන් අත්විඳින පුද්ගලයන් දිනකට ලබාගන්නා සමස්ත කැෆේන් ප්‍රමාණය පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.

දැනට තේ පානය නොකරන පුද්ගලයන් එය අනිවාර්යයෙන්ම ආරම්භ කළ යුතු යැයි සිතීම අවශ්‍ය නැහැ. හෘද වාහිනී රෝග අවදානම අඩු කර ගැනීම සඳහා විද්‍යාත්මක සාක්ෂි මගින් තහවුරු කර ඇති තවත් ක්‍රම රැසක් තිබෙනවා. ඒ අතර නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත වීම, දුම්පානයෙන් වැළකීම, රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් මට්ටම සෞඛ්‍ය සම්පන්න මට්ටමක පවත්වා ගැනීම සහ පෝෂ්‍යදායී ආහාර රටාවක් අනුගමනය කිරීම ඇතුළත් වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *