කර්මාන්ත පාර්ශ්වවලින් ලැබුණු ඉල්ලීම් සලකා බලමින් අධිවේගී මාර්ගවල ධාවනය වන වාහන සඳහා ආසන පටි සවි කිරීමට වාහන නිෂ්පාදකයන්ට ලබාදී තිබූ සහන කාලය තවත් මාස තුනකින් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.
මෝටර් වාහන පනතට අනුකූලව 2011 අංක 02 දරන මෝටර් වාහන (අධිවේගී මාර්ග) නියෝගය යටතේ අධිවේගී මාර්ගවල ගමන් කරන වාහනවල සියලුම මගීන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය වේ.
ආසන පටි නොමැති වාහනවලට ඒවා සවි කිරීම සඳහා වාහන නිෂ්පාදකයන්ට ලබාදී තිබූ මුල් සහන කාලය 2026 ජුනි 19 වැනිදා අවසන් වීමට නියමිතව තිබිණි.
කෙසේ වෙතත්, සහන කාලය තවදුරටත් දීර්ඝ කරන ලෙස කර්මාන්ත පාර්ශ්ව ඉදිරිපත් කළ ඉල්ලීම් සලකා බලමින් රජය 2026 ජුනි 17 වැනිදා අංක 2493/19 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් අදාළ නියෝගය සංශෝධනය කර තිබේ.
ඒ අනුව, ආසන පටි සවි කිරීම සඳහා ලබාදී ඇති සහන කාලය 2026 සැප්තැම්බර් 19 වැනිදා දක්වා දීර්ඝ කර ඇත.
අදාළ සංශෝධනය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් හිමිව තිබේ.


