EPF පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය – පෞද්ගලික අංශ සේවකයන්ගේ සමාජ ආරක්ෂණය ශක්තිමත් කිරීමට පියවර

විශ්‍රාම වැටුපකට හිමිකම් නොලබන පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශ සේවකයන්ගේ සමාජ ආරක්ෂණය ශක්තිමත් කිරීමේ අරමුණින් 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත (EPF Act) සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව, අදාළ පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

1958 වසරේ හඳුන්වා දුන් සේවක අර්ථසාධක අරමුදල් පනත කම්කරු කොමසාරිස් ජනරාල්වරයා යටතේ පරිපාලනය වන අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය එම අරමුදලේ භාරකරු ලෙස කටයුතු කරයි.

පවතින පනතේ විධිවිධාන වරින් වර සංශෝධනය කර තිබුණද, වර්තමාන සමාජ, ආර්ථික හා තාක්ෂණික වෙනස්කම්වලට අනුකූලව අරමුදලේ සාමාජිකයන් මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා තවදුරටත් ප්‍රතිසංස්කරණ සිදුකිරීමේ අවශ්‍යතාවක් පවතින බව රජය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කරන ලද යෝජනාද සැලකිල්ලට ගනිමින් කම්කරු දෙපාර්තමේන්තුව විසින් මූලික පනත් කෙටුම්පත් ආකෘතියක් සකස් කර තිබේ.

එම මූලික කෙටුම්පත පදනම් කරගනිමින් EPF පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකවරයා වෙත උපදෙස් ලබාදී ඇති බව රජය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *