මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ මැඩපැවැත්වීමෙන් වඩාත් සාමකාමී රටක් ගොඩනැගීම සඳහා අවශ්‍ය යැයි සැලකෙන ව්‍යවස්ථා සංශෝධන හඳුන්වා දීමට තම රජය කිසිවිටෙකත් පසුබට නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (3) ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා පොලිසියේ 160 වැනි සංවත්සරය වෙනුවෙන් පැවති උත්සවයකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
සැකකරුවන් නීතිය හමුවට පමුණුවා දඬුවම් ලබාදීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා රජය පියවර ගෙන ඇති නමුත්, අත්අඩංගුවට ගැනීමේ සිට දඬුවම් ලබාදීම දක්වා ක්‍රියාවලියේ පවතින ප්‍රමාදයන් පිළිබඳවද ජනාධිපතිවරයා අවධානය යොමු කළේය.
පසුගිය වසර දෙක තුළ පොලිසිය වාර්තාගත මට්ටමේ මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකර ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා, නීතිමය කටයුතු සහ දඬුවම් ලබාදීම දිගින් දිගටම ප්‍රමාද වන්නේ නම් එවැනි අත්අඩංගුවට ගැනීම්වලින් අපේක්ෂිත ප්‍රතිඵලයක් ලබාගැනීම අපහසු බව පෙන්වා දුන්නේය.
“අපරාධකරුවන් දන්නවා දඬුවම ප්‍රමාද වෙනවා කියලා,” යනුවෙන් ජනාධිපතිවරයා පැවසූ අතර, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට සම්බන්ධ සියලු ආයතන වඩාත් කාර්යක්ෂමව කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.
එම ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම සඳහා රජය මේ වනවිටත් නීති හඳුන්වා දී ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා, මහජනතාවගේ යහපත වෙනුවෙන් අවශ්‍ය ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමට රජය පියවර ගන්නා බවද පැවසීය.
“අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන සිදුකිරීමට අපි කිසිවිටෙකත් පසුබට වෙන්නේ නැහැ,” යනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


