කේරළ වෙරළට ඔබ්බෙන් ගිලී ගිය MSC Elsa 3 නෞකාවෙන් ගසාගෙන පැමිණි ප්ලාස්ටික් කැට (plastic pellets) සහිත බහාලුම් 43කට වැඩි ප්‍රමාණයක් මේ වන විට එකතු කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) පවසයි.
MEPA සභාපති සමන්ත ගුණසේකර මහතා සඳහන් කළේ, මෙම ප්ලාස්ටික් කැට තවදුරටත් යාපනය දූපත් ප්‍රදේශයේ සිට ගාල්ල දක්වා වෙරළ තීරයට ගසාගෙන එමින් පවතින බවත්, මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් තත්ත්වය තවදුරටත් උග්‍ර වී ඇති බවත්ය.
ප්ලාස්ටික් කැට ඉවත් කිරීමේ කටයුතු සඳහා මේ වන විට සේවකයින් 1,800කට ආසන්න පිරිසක් යොදවා ඇති අතර, ඒ සඳහා වන වියදම් අදාළ නෞකා සමාගම විසින් දරන බවද ඔහු පැවසීය.
මේ අතර, නෞකාව ගිලී යාම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසර පද්ධතියට සිදුව ඇති හානිය සඳහා අවශ්‍ය වන්දි මුදල තක්සේරු කිරීමේ කටයුතු ද ආරම්භ කර ඇත. ඒ සඳහා පත් කළ විශේෂඥ කමිටුව ඊයේ රැස්වීමක්ද පැවැත්වූ බව MEPA සභාපතිවරයා සඳහන් කළේය.
ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කළ MSC Elsa 3 බහාලුම් නෞකාව 2025 මැයි 25 වන දින ඉන්දියාවේ කේරළ වෙරළට නාවික සැතපුම් 38ක් පමණ දුරින් පිහිටි මුහුදු ප්‍රදේශයකදී ජල කාන්දුවක් ඇතිවීමෙන් පසු ගිලී ගියේය.
අනතුර සිදුවන අවස්ථාවේදී එම නෞකාව බහාලුම් 643ක් රැගෙන යමින් තිබුණි.


