රජය මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති කේබල් කාර් ව්‍යාපෘතිය කෙරෙහි ශ්‍රී පාදස්ථානාධිපති, ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන් සිය ආශිර්වාදය පළ කර සිටිනවා. කෙසේ වුවද මෙම කේබල් කාර් පද්ධතිය ස්ථාපනය කිරීමේදී එය “හැරමිටි පහන” ප්‍රදේශය දක්වා පමණක් සීමා විය යුතු බව උන්වහන්සේ අවධාරණය කර සිටිනවා.
මේ අතර 2025-2026 ශ්‍රී පාද වන්දනා සමය එළඹෙන මැයි මස 31 වනදායින් අවසන් වන බව ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් නිල වශයෙන් නිවේදනය කළා. ඒ අනුව වෙසක් පුන් පෝය දිනට පසුදින, එනම් මැයි මස 31 වනදා උදෑසන පැවැත්වෙන විශේෂ පූජෝත්සවයෙන් අනතුරුව මෙවර වන්දනා වාරය නිමාවට පත්වනු ඇති.
ශ්‍රී පාද වන්දනා වාරය නිම කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් නල්ලතන්නිය ග්‍රාම සේවා කාර්යාලයේදී පැවැත්වුණු අතර එහිදී නාහිමියන් මේ බව සඳහන් කළා. වන්දනා සමය අවසන් කිරීමේ චාරිත්‍රයට අනුව ශ්‍රී පාද උඩ මළුවේ තැන්පත් කර ඇති සධාතුක කරඩුව සහ සමන් දේව ප්රතිමාවන් මාර්ග හතරක් ඔස්සේ පෙරහැරින් වැඩම කරවීමට කටයුතු යොදා තිබෙනවා.
මෙවර වන්දනා සමය තුළ “දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් විවිධ බාධාකාරී තත්ත්වයන් මතු වුවද, සමස්තයක් ලෙස වන්දනා වාරය සාර්ථකව නිමා කිරීමට හැකි වූ බවයි පූජ්‍ය බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන් සිහිපත් කළේ. විශේෂයෙන්ම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරියගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී අනාවරණය වූයේ මෙවර වන්දනා සමයේදී පරිසර දූෂණය අවම කරගැනීමට හැකිවීම සුවිශේෂී ජයග්‍රහණයක් බවයි.
සීත ගඟුලේ සිට ඉඳිකටු පාණ දක්වා ක්‍රියාත්මක කෙරුණු පානීය ජල ව්‍යාපෘතිය හේතුවෙන් වන්දනාකරුවන් පරිසරයට බැහැර කරන ප්ලාස්ටික් බෝතල් ප්‍රමාණය කැපී පෙනෙන ලෙස අඩු වී ඇති බව එහිදී ප්‍රකාශ වුණා. මෙම සාර්ථකත්වය සැලකිල්ලට ගනිමින්, එළඹෙන වසරේදී අදාළ ජල ව්‍යාපෘතිය ශ්‍රී පාද උඩ මළුව දක්වාම ව්‍යාප්ත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි බලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ.


