ශ්‍රී ලංකාවේ බිම්ස්ටෙක් තාක්ෂණ හුවමාරු මධ්‍යස්ථානය (BIMSTEC Technology Transfer Facility) පිහිටුවීම සඳහා වන ගිවිසුමට අත්සන් තැබීමට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙම වැඩසටහනේ ආරම්භය 2008 වසරේ ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති දෙවැනි බිම්ස්ටෙක් සමුළුව දක්වා දිව යයි. එහිදී කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා තාක්ෂණ හුවමාරු පහසුකමක් ස්ථාපිත කිරීමට සාමාජික රටවල් එකඟ වී තිබේ.
ඒ අනුව, අදාළ සහයෝගීතා ගිවිසුම 2022 මාර්තු 20 වැනිදා කොළඹදී පැවති පස්වැනි බිම්ස්ටෙක් සමුළුවේදී නිල වශයෙන් අත්සන් කර තිබේ.
බෙංගාල බොක්ක ආශ්‍රිත බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතා සංවිධානයේ සාමාජික රටවල ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙත තාක්ෂණය ලබාදීම, ඔවුන්ගේ තාක්ෂණික හැකියාවන් වර්ධනය කිරීම සහ බුද්ධිමය දේපළ කළමනාකරණය කිරීම මෙම තාක්ෂණ හුවමාරු මධ්‍යස්ථානයේ ප්‍රධාන අරමුණු වේ.
සත්කාරක රට ලෙස ශ්‍රී ලංකාවට මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම, මෙහෙයවීම සහ කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් බිම්ස්ටෙක් ලේකම් කාර්යාලය සමඟ ගිවිසුමකට එළඹීමේ වගකීම පැවරී තිබේ.
ඒ සඳහා අවශ්‍ය ආයතනික අනුමැතීන් සහ නීතිමය නිෂ්කාශන ලබා ගනිමින් ගිවිසුමේ කෙටුම්පතක් දැනටමත් සකස් කර ඇති බව සඳහන් වේ.


