උතුරු නේපාලයේ රාසුවා දිස්ත්‍රික්කයට බලපෑ දැවැන්ත නායයෑම් ව්‍යසනයෙන් පසු මානුෂීය ආධාරයක් ලෙස ඇමරිකානු ඩොලර් මිලියනයක් නේපාල රජයට පරිත්‍යාග කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
අගෝස්තු 26 වැනිදා සිදු වූ මෙම ව්‍යසනයෙන් පුද්ගලයන් රැසකට ජීවිත අහිමි වූ අතර, තවත් විශාල පිරිසක් අතුරුදන්ව ඇති බව වාර්තා වේ. එමෙන්ම දේපළ හා යටිතල පහසුකම්වලට ද දැඩි හානි සිදුව තිබේ.
තවදුරටත් ගංවතුර ඇතිවීමේ අවදානමක් සහ අත්‍යවශ්‍ය පහසුකම් රැසක් විනාශ වීමේ අනතුරක් පිළිබඳ අනතුරු ඇඟවීම් මධ්‍යයේ අතුරුදන් වූ පුද්ගලයන් සොයා නේපාල බලධාරීන් තවදුරටත් මෙහෙයුම් සිදු කරමින් සිටී.
මෙම ඛේදවාචකයෙන් ඇති වී තිබෙන දැඩි මානුෂීය හා ආර්ථික බලපෑම් පිළිබඳ සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව මෙම ආධාරය ලබාදීමට තීරණය කර ඇති අතර, දෙරට අතර පවතින ගැඹුරු සංස්කෘතික හා ආගමික සබඳතා මෙන්ම දිගුකාලීන මිත්‍රත්වය ද මෙම තීරණයට පදනම් වී තිබේ.


