මේ දිනවල අන්තර්ජාලයේ හා සමස්ථ ලෝකයම කථාබහට ලක්ව ඇති සුපිරි තරුවක් ඉන්දියාවෙන් බිහිව ඇත. ඇය නමින් රානු මොන්ඩාල්ය. අන්තර්ජාලය කළඹමින් ඇය අපූරු ගායනයක් ඉදිරිපත් කර තිබිණි. ඒ ඉන්දීය ගීත කෝකිලාවිය ලතා මංගෙෂ්කාර්ගේ “ඒක් ප්‍යාර් කා නගම් හෛ” ගීතය ඇය විසින් ගායනා කරනු ලැබීමත් සමගය.
ඉන්දියාවේ දුම්රිය ස්ථානයක සිඟමන් යදිමින් ජීවත්වූ රානු මොන්ඩාල්ට උපතින්ම දායාද වූ වටිනා මිහිරි කටහඬක් විය. අලංකාර ලෙස ගීත ගායනා කිරීමට හැකියාවද ඒ සමගම ඇයට උරුම වී තිබිණි. දෛවය යනු පුදුමාකාර දෙයකි. තමන් නොසිතූ ලෙස ඇගේ දෛවය වෙනස් විය. ඉන්දියාවේ බටහිර බෙංගාලයේ සිට පැමිණි ඇගේ දෛවය වෙනස් කළ තැන වූයේ රන්දගාට් දුම්රියපොළයි. දිනක් එම දුම්රිය නැවතුම්පොළට පැමිණි අතීන්ද්‍ර චක්‍රවර්ති වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකි. ඔහුට එහිදී ඇසුණේ ඉන්දීය ගායක මොහොමඩ් රාෆිගේ ගීයක් රේඩියෝවෙන් ඇසෙන හඬයි. ඒ සමග පසුපසින් සිටි කාන්තාවක් එය මුමුණන හඬද ඔහුට ඇසෙන්නට විය. ඇයට තවත් ගීයක් ගායනා කරන ලෙස ඔහු ඉල්ලා සිටි අතර ඔහු අතින් එය වීඩියෝ කෙරිණි. අතීන්ද්‍ර චක්‍රවර්තී සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ රානු මොන්ඩාල්ගේ හඬ ලෝකයට අසන්නට සැලැස්වීය. ඒ එම වීඩියෝ පටය ඔහුගේ ගිණුම හරහා ප්‍රචාරය කිරීමත් සමගය. පැය කිහිපයක් යන්නටත් පෙර ඇය ලෝකයේ සුපිරි තරුවක් බවට පත්වන්නේ ඒ සමගය. එම වීඩියෝව සමාජ මාධ්‍ය ජාලා පුරා කථාබහට ලක්වන්නටත් බොහෝ පිරිස් අතර හුවමාරුවන්නටත් විය. ඇය සැසඳුණේ ලෙහෙසි පහසු තරුවක් සමග නොවේ. ඒ ලතා මංගෙෂ්කාර්ගේ කටහඬ හා සන්සන්දනය කරමිනි.
ඒ අනුව බොලිවුඩයට පෑයු නවතම තරුව බවට රානු මොන්ඩාල් පත්විය. බොලිවුඩ් චිත්‍රපට පසුබිම් ගායක හිමේෂ් රේශම්මියා ගේ නවතම ගීය ගායනය සඳහා ඇයට අවස්ථාව උදාවිය. ඉන්දීය රූපවාහිනී හා ගුවන්විදුලි මාධ්‍ය රැසකින් ඇයට ගී ගායනය සඳහා ආරාධනා හිමිවිය. ඇගේ දෛවය වෙනස් වන්නට පටන් ගත්තේ එලෙසිනි.
දැනට අවුරුද්දකට පමණ පෙර ඉන්දියාව පුරා පැතිර ගිය මෙම වීඩියෝ පටය දුටු ඉන්දියාවේ එක්තරා මාධ්‍ය ආයතනයක් රානු මොන්ඩාල්ව සොයා ගියේය. රානු බියුටි පාලර් එකකට ගෙන ගොස් අලුතින්ම හැඩ කළ එම ආයතනය ඇගේ හැකියාවන් තව තවත් දියුණු කරමින් ඇය ගායිකාවක් බවට පත් කළ අතර ඇගේ හැකියාවන්ට අතදීමට තවත් සුවිශේෂී ප්‍රවීන ගායකයකු සේම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයකු වන ශංකර් මහාදේවන් ඉදිරිපත් විය.
ඒ අනුව තම මීළඟ හින්දි චිත්‍රපටයේ ගීත ගායනා කිරීම සඳහා ශංකර් මහාදේවන් රානුට අවස්ථාව ලබා දුන්නේය. ඇයට තවත් සුවිශේෂී තිළිණයක් පසුගියදා හිමිවිය. ඒ ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන් විසින් ඉන්දීය රුපියල් ලක්ෂ 55ක් වටිනා නිවසක් ඇයට තිළිණ කරන ලදි.
දුම්රියපොළක සිඟමන් යදිමින් සිටි කතකට එසේ සිය දෛවය වෙනස් කරගැනීමේ අවස්ථාව උදාවිය. ඉන්දියාව ලොවට ලබාදී ඇති ආදර්ශය උතුම්ය. උන්මත්තකයින් හා මුදල්වලට ගායකයින් යැයි කියාගන්නා මෙරට පිරිසටද ඇය ආදර්ශයකි.