17 හැවිරිදි පාසල් සිසුවෙකු තියුණු ආයුධයකින් පහරදීමෙන් මරුට

ඉරිදා අලුයම ඇහැලියගොඩ, අරපොල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීමකට ලක්වූ 17 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මියගිය සිසුවා ඇහැලියගොඩ ජාතික පාසලේ උසස් පෙළ හදාරමින් සිටි සිසුවෙකි.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, සෙනසුරාදා සවස අරපොල පාසල් හන්දිය ආසන්නයේදී ඇති වූ ආරවුලක් මෙම සිද්ධියට හේතු වී ඇති බවට සැක කෙරෙන බවයි.

පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, එක් තරුණයෙකු පාසල් හන්දිය ආසන්නයේදී තරුණියන් දෙදෙනෙකු සමඟ කතා කරමින් සිටියදී තවත් පුද්ගලයෙකු ජංගම දුරකථනයකින් ඔවුන්ගේ වීඩියෝවක් පටිගත කර ඇති බවයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර පසුව ආරවුලක් හටගෙන තිබේ.

ඉරිදා අලුයම සැකකරු පාසල් සිසුවාගේ නිවසට පැමිණ ඔහුට තියුණු ආයුධයකින් පහරදී පළාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

බරපතළ තුවාල ලැබූ සිසුවා ඇහැලියගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු මියගොස් තිබේ.

සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *