රජයේ “ප්‍රජා ශක්ති” ජාතික දරිද්‍රතා තුරන් කිරීමේ වැඩසටහන යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති 786ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා රුපියල් මිලියන 997.84ක මුදලක් වෙන් කර තිබේ.
මෙම තොරතුරු අනාවරණය වූයේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (28) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදීය.
සැලසුම් කර ඇති ව්‍යාපෘති අතරින් 263ක් ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති වන අතර, ඒ සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 296.19කි.
තවත් ව්‍යාපෘති 286ක් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වන අතර, ඒ සඳහා රුපියල් මිලියන 543.22ක් වෙන් කර තිබේ.
රටේ සෑම ග්‍රාම නිලධාරී වසමකම අවම වශයෙන් එක් සංවර්ධන ව්‍යාපෘතියක් හෝ ක්‍රියාත්මක කිරීම අරමුණු කරගත් “ප්‍රජා ශක්ති” වැඩසටහන සඳහා 2026 අයවැය මගින් රුපියල් බිලියන 25ක මුදලක් රජය වෙන් කර ඇත.
මේ වනවිට දිවයින පුරා රුපියල් බිලියන 22.425ක වටිනාකමකින් යුත් ව්‍යාපෘති 15,646ක් ආරම්භ කර තිබේ.
ඒ අතර ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති 8,323ක් සහ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති 7,323ක් ඇතුළත් වේ.
මහජන මුදල් සම්බන්ධයෙන් මූල්‍ය විනය පවත්වා ගනිමින් ව්‍යාපෘති කඩිනම් කරන ලෙසත්, එමගින් ප්‍රජාවට උපරිම ප්රතිලාභ ලබාදීමට කටයුතු කරන ලෙසත් අමාත්‍ය උපාලි පන්නිල මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.


