බ්‍රිතාන්‍ය නව අගමැති බෝරිස් ජොන්සන්

මහා බ්‍රිතාන්‍යයේ නව අගමැතිවරයා වශයෙන් බෝරිස් ජොන්සන් පත්කරනු ලැබ ඇතැයි විදෙස් වාර්තා පවසයි.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම (Brexit) යන කාරණයෙන් පසු ඇතිවූ බලපෑම් මත තෙරේසා මේ අගමැති ධූරයෙන් ඉවත්වූ අතර නව අගමැති බෝරිස් ජොන්සන් එරට 77 වැනි අගමැතිවරයා ලෙස පත්වීමට නියමිතය.

ඇමරිකාවේ උපත ලද ජොන්සන් 55 වැනි වියේ පසුවන අතර දෙවැනි එළිසබෙත් රැජිණ ය‍ටතේ කටයුතු කරන එරට 14වැනි අගමැතිවරයා ලෙසද ඔහු හැඳින්විය හැකිය. කොන්සවේටිව් පක්ෂයේ තෙවැනි නායකයා ද වනු ඇති ජොන්සන් නව අගමැති ලෙස තේරී පත්වීමත් සමග පැවැත්වූ කෙටි දේශනයේදී සඳහන් කර සිටියේ රට එකමුතු කරන බවයි.

නව අගමැති තේරීමේ ඡන්දයෙන් තුනෙන් දෙකක බහුතරය ලබාගත් ජොන්සන්ගේ ප්‍රතිවාදියා වූයේ ජෙරමි හන්ට් ය. ජොන්සන්ගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇමරිකා එක්සත් ජනපදයේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සුබ පැතුම් එක්කර තිබිණි. ඔහු විශිෂ්ටයකු බවත් ට්‍රම්ප් සිය ට්විටර් පණිවිඩයේ සඳහන් කර තිබේ.

නව අගමැති බෝරිස් ජොන්සන් ජූලි 24 වැනිදා සිට මහා බ්‍රිතාන්‍යයේ අගමැතිවරයා ලෙස වැඩ ආරම්භ කිරීමට නියමිතය.

(USA Today පුවත් සේවය ඇසුරිනි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *