සුඛෝපභෝගී රථවාහන බද්දේ ඇත්ත සහ බොරුව හෙළිවෙයි

සුඛෝපභෝගී රථ වාහන සඳහා රජය නව බද්දක් පනවා ඇති අතර කුඩා වාහනවලට එය අදාළ නොවන බවට රජය වැරදි ප්‍රචාරයක්ද සිදුකරමින් පවතින බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ මහතා පවසන්නේ රජය කුඩා වාහන වල බදු අඩුකර ඇති බවට වැරදි ප්‍රචාරයක් සිදුකරමින් සිටින බවයි. 2019 අයවැය යෝජනා යටතේ පැනවූ සුඛෝපභෝගී රථ වාහන බද්ද කුඩා වාහනවලට බලනොපැවෙත්වෙන බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පසුගිය 29 වැනිදා ප්‍රකාශ කළේය. එහි දැක්වෙන්නේ සුඛෝපභෝගී මෝටර් කාර් සහ ජීප් රථ පමණක් එම බදුවලට යටත්වන අතර, කුඩා මෝටර් රථ කිසිවකටත් එය අදාළ නොවන බවයි.

එමෙන්ම, වෑන් රථ, තනි කැබ් රථ, ඩබල් කැබ්, මෝටර් සයිකල් සහ මෝටර් ට්‍රයිසිකල් යනාදී වාහනද මෙම සුඛෝපභෝගී බද්දට යටත් නොවන බවද මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

නව සුඛෝපභෝගී බද්දට අනුව හොන්ඩා CRV රථයක මිල රුපියල් ලක්ෂ 21කින් පමණ වැඩිවන බවද ප්‍රාඩෝ රථයක මිල රුපියල් ලක්ෂ 50කින් පමණ ඉහළ යනබවද වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

තව ද, කුඩා ප්‍රමාණයේ වාහනවලට මෙම සුඛෝපභෝගී බදු අයනොකරන බව අවධාරණය කරන අතර ඒ අතරට Toyota Vitz, Suzuki Every, Toyota Roomy, Suzuki Alto, Suzuki Baleno, Daihatsu Petrol, Honda Grace, Suzuki Wegon R, Toyota Aqua යන මාදිලිවල වාහන මෙම සුඛෝපභෝගී බද්දට අදාළ නොවන බවට මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. තව ද Axio, Premio සහ Allion යන මාදිලිවල සාමාන්‍ය වාහන ද මෙම සුඛෝපභෝගී බද්දට යටත් නොවන බව රජය පවසයි.

කෙසේවෙතත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ රජය සුඛෝපභොග් රථවලට නව බද්දක් පනවා ඊට කුඩා වාහන අයත් නොවන බවට නිවේදනය කර ඇති බවයි. නමුත් වෙනස්වන විනිමය අනුපාත අනුව කුඩා වාහනවලද මිල වැඩිවුවහොත් අද පවතින මිල වෙනස්වන බැවින් ඇතැම් වාහන බද්දට යටත්වන බවත් එවිට අතිශය විශාල මිලකින් එම වාහනවල මිලද වැඩිවිය හැකි බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *