ෂරියා නීතිය

ෂරියා නීතිය අරාබි පාසැල්වල උගන්වන බවට හෙළිදරව්වක්

මෙරට ඇති අරාබි පාසල්වල ෂරියා නීතිය උගන්වන බව පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ ඊයේ (11) අනාවරණ විය.

ඊයේ පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසමට ප්‍රකාශ ලබා දුන්නේ ජමාතේ ඉස්ලාමීය සංවිධානයේ නායකයෙකු වන රෂිඩ් හජ්ජිහුල් අබ්බාර් මවුලවීවරයායි.

ඔහු මාවනැල්ල බුදුපිළිමවලට හානි කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් වූ සාදික් සහ ෂාහිඩ් යන අයගේ පියා වන ඊබ්‍රාහීම් මවුලවීවරයාගේ සහෝදරයෙකු වේ.

ෂරියා නීතිය ලංකාවේ නීතියක් නොවුණත් අරාබි විදුහල්වල එම නීතිය සම්බන්ධයෙන් උගන්වන බව
ජනාධිපති කොමිසම හමුවේ අනාවරණ කළ මවුලවීවරයා වැඩිදුරටත් පැවුසවේ අරාබි විදුහල්වලින් ඉගෙන ගත් මවුලවීවරුන් ඔවුන්ට අවශ්‍ය විවිධ දෑ මද්‍රසා පාසල් වල උගන්වන බවයි.

එම නිසා ඇතැමුන් මෙරටට අනුකූල දේවල් මෙන්ම අනුකූල නොවන දේවල්ද ඉගැන්විය හැකි බව ඔහු සඳහන් කළේය.

එමෙන්ම තමා නියෝජනය කරන ජමාතේ ඉස්ලාමීය සංවිධානය විසින් ලංකාව පුරා මාදම්පේ, පුත්තලම, මාවනැල්ල, කල්කුඩා සහ කින්නියා ඇතුලු දිවයිනේ ප්‍රදේශ රැසක මද්‍රසා පාසල් 9ක් පමණ ස්ථාපිත කර තිබෙන බවද රෂිඩ් මවුලවීවරයා කොමිසම හමුවේ අනාවරණ කළේය.

තම සංවිධානයට ලැබෙන විදෙස් මුදල් ලබාගැනීමේදී ගිවිසුම් ගත වූයේද සහ ඒ පිළිබද මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුව දැනුවත් කළේද යන්න කොමිසම මෙහිදී මවුලවිවරයාගෙන් විමසූ අතර එහිදී ඔහු සඳහන් කළේ එකී ගිවිසුම් සම්බන්ධයෙන් මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුව කිසිවක් නොදන්නා අතර ඒ පිළිබද ඔවුන් දැනුවත් කළ යුතු බවට නීති ඇත්දැයි තමා දැන නොසිටි බවයි.

මේ අතර බුදුපිළිමවලට හානි කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වූ සාදික් නැමත්තා බේරුවල දර්ගා නගරයේ ඇතිවූ කලහකාරී සිද්ධියේදී මුස්ලිම් ජනතාව තවදුරටත් ඉවසිය යුතු නැති බවත් , මුස්ලිම් ජනතාව ආරක්ෂා කිරීමට නම් පහරදිය යුතුයැයි පවසමින් වෙනත් සංවිධානයක් ගොඩනැගු බවත් මේ ගැන තමා බුද්ධි අංශ වලට දැනුම් දුන් බවත් මවුලවීවරයා මෙහිදී හෙළි කළේය.

පසුව කොමිසම විමසා සිටියේ හිස්බු ඉස්ලාම් අරමුදල යනු කුමක්ද යන්නයි.

එය පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කර ඇති අරමුදලක් බව මවුලවීවරයා එහිදී පැවසීය.

සාදික් එම අරමුදල් ලබාගෙන අන්තවාදී දේශන පැවැත්වූ බව ඔබ දැන සිටියේදැයි කොමිසම නැගු ප්‍රශ්නයට ඔහු පැවසුවේ තමන් ඒ ගැන නොදන්නා බවයි.

පසුව කොමිසම විමසුවේ ප්‍රහාරයට සම්බන්ධ සහරාන්ගෙන් දුරකථන ඇමතුමක් ලැබී තිබේනවා නේද යන්නයි.

ඊට පිළිතුරු දුන් මවුලවීවරයා පැවසුවේ 2010 වසරේදී සහරාන් තමා අමතා සිය සංවිධානයේ දේශනා සම්බන්ධයෙන් ඔහු සමඟ විවාදයකට එන්නැයි අභියෝග කළ බවයි.

පසුව එම දුරකථන ඇමතුමට අදාල හඬපටය රෂිඩ් මවුලවීවරයා කොමිසමට ලබාදුන්නේය.

පැය හයක පමණ කාලයක් ප්‍රකාශ ලබා දුන් මවුලවිවරයා ඊයේ පස්වරුවේ කොමිසමෙන් පිටත්ව ගියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *