ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයට වර්ෂාවෙන් බාධා ඇතිවිය. ඒ හේතුවෙන් අද(12) දිනයේ ක්‍රීඩා කිරීමට හැකිවූයේ පන්දුවාර 18 පන්දු දෙකක් පමණි.

ඊයේ දිනට තරගය නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 202ක් ලබාසිටි ශ්‍රී ලංකාව අද අයහපත් ආලෝකය හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 263ක් ලබා සිටියේය. ඒ ධනංජය ද සිල්වාගේ දක්ෂ පිතිහරඹය නිසාය. සිය හයවැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් ධනංජය ද සිල්වා තරගය නතර කරන විට නොදැවී ලකුණු 72 ක් රැස්කරමින් එක් අන්තයක රැඳී සිටින අතර ඩිල්රුවන් පෙරේරා ලකුණු 2 ක් ලබාගනිමින් පිටියේ රැඳී සිටියේය.

අද දිනයේ දැවී ගිය එකම කඩුල්ල වූයේ නිරෝෂන් දික්වැල්ලය. ලකුණු 33 ක් රැස්කර සිටි නිරෝෂන් දික්වැල්ල දවාගත් ෂහීන් අෆ්රිඩි අද දින දැවී ගිය එකම කඩුල්ලට හිමිකම් කීවේය. බාබර් අසාම් අතට උඩපන්දුවක් දෙමින් ඔහු දැවීයන විට සිය ඉනිමට හතරේ පහර 4 ක් එක් කර තිබූ අතර ධනංජය ද සිල්වා සමගින් එක්ව හයවැනි කඩුල්ල සඳහා ලකුණු 67 ක සම්බන්ධතාවයක්ද ගොඩනගා තිබිණි.

ඊයේ සාර්ථක ආරම්භයක් ලබාගත් නායක දිමුත් කරුණාරත්න හා ඕෂධ ප්‍රනාන්දු පළමු කඩුල්ලට ලකුණු 96ක සබඳතාවයක් එක් කළහ. දිමුත් කරුණාරත්න ලකුණු 59ක් ලබාගත් අතර ඕෂධ ප්‍රනාන්දු ලකුණු 40කට දැවී ගියේය. නමුත් මැද පෙළ අසාර්ථකත්වය යළිත් සනාථ කරමින් දිනේෂ් චන්දිමාල් හා කුසල් මෙන්ඩිස් නිකරුණේ සිය කඩුලු පූජා කළහ.

හෙට තරගයේ තුන්වැනි දිනයයි.

(Image – cricinfo)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *