ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසයේ දැවැන්ත ඛේදවාචකය

2002 ජනවාරි 13 වැනි දින පෙරවරු හත හමාරට පමණ කිරිවල්ලාපිටිය දුම්රිය මාර්ගය දෙසින් එක්වරම මහා හඬක් නැගුණි. ඒ සමගම ප්‍රදේශවාසීන්ට අසන්නට ලැබුණේ මිනිසුන් සිය ගණනකගේ විලාපයකි. ඒ හඩට කන්දුන් කිරිවල්ලාපිටිය ගැමියෝ හනි හනිකට එදෙසට දිව යන්නට වූහ. ඔවුනට දැක ගත හැකිවූයේ මහනුවර සිට කොළඹ බලා ගමන්කරමින් තිබූ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියේ සියලුම මැදිරි තැන් තැන් වල පෙරැළී ඇති ආකාරයයි. එම දුම්රිය මැදිරි වලට සම්බන්ධව තිබූ M6 – 788 දරන දුම්රිය එන්ජිම පමණක් කිරිවල්ලාපිටිය රේල් ගේට්ටුව ආසන්නයේ නිරුපද්‍රිතව නතර වී තිබිණි. දුම්රිය අනතුර සිදුවී සුලු මොහොතක් ගතවනවිට පැමිණි දහස් ගණනක් වූ ජනතාව මැදිරි තුළ සිරවී සිටි මගීන් ඉන් පිටතට ගැනීමට හැකි සියලුම පරිශ්‍රමයන් දැරීය. වෙලට පෙරැළී ගිය දුම්රිය මැදිරි වලට යටවූ මගීන් මෙන්ම, දුම්රිය මැදිරි තුළ ලේ වලින් තෙත් වූ, අත් පා කැඩී බිඳීම්වලට ලක්වූවන්, සිහිසුන් වූවන් මෙන්ම පණ නළ ගුවනට මුසුවූ මගීන්ද ඒ අතර සිටියහ.

මෙම දැවැන්ත ඛේදවාචකයට හේතුව වූයේ දුම්රියේ ප්‍රවේගික තිරිංග (Dynamic Break) අක්‍රිය වීමයි. ඒ හේතුවෙන් බලන සහ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථාන අතර පිහිටි මාකෙහෙල්වල දුම්රිය නැවතුම ආසන්නයේ සිට දුම්රිය කට්ටලය අධික වේගයකින් පහළට ඇදී ආ බව රියැදුරු කේ.එල්. රංජිත් කළ ප්‍රකාශයෙහි සටහන් වී ඇත. එම ප්‍රකාශය හැරුණුකොට මෙම අනතුරට හේතුව දුම්රියේ යාන්ත්‍රික දෝෂයක්ද, නැතහොත් එහි තිරිංග සඳහා යෙදූ උපාංගවල බාල බවක්ද, එසේත් නැතහොත් එහි රියැදුරුගේ අපරීක්ෂාකාරී බවද යන්න පිළිබඳ විවිධ තර්ක විතර්ක ඇතිවිය. විවිධ පාරශවයන්ගෙන් තමන්වෙත එල්ල වූ චෝදනා මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ එහි රියැදුරු කේ.එල්. රංජිත් මහතා එම චෝදනා මත හටගත් චිත්ත පීඩාව පවතින අතරේම හටගත් අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත අකල් මරණයට පත්විය. කෙසේ වුවද මෙම අනතුරට මුල්වූ M6-788 එන්ජිම දෝෂ සහිත බව පසුකාලීනව හෙළිදරව් විය. මෙම අනතුරින් මගීන් 18 දෙනෙක් මියගොස් දෙසීයකට අධික පිරිසක් බරපතල ලෙස තුවාල ලැබූහ.

මෙම ඛේදවාචකයෙන් දැඩි ලෙස හානිවී තිබූ දුම්රිය මාර්ගය එදින රාත්‍රියේම යථාතත්වයට පත් කර පසුවදා සිට දුම්රිය ධාවනය කරවීමටද දෙපාර්තමේන්තුවේ කාර්මික අංශට හැකියාව ලැබුණි. නැරඹුම් මැදිරියද ඇතුළුව මැදිරි 7න් 2ක් අලුත්වැඩියා කිරීමට රැගෙන ආ නමුත් එකක් පමණක් අලුත්වැඩියාකර සේවයට එකතු කිරීමට හැකිවුණි. අනෙක් මැදිරි 5 අබලි යකඩ වශයෙන් වෙන්දේසි කරන ලදී. M6 – 788 එන්ජිමද අලුත්වැඩියාකර මේ වන තුරුත් දුම්රිය සේවයේ යොදවා ඇත.

ලංකා දුම්රිය ඉතිහාසයේ දැවැන්ත ඛේදවාචකයක් ලෙසට වාර්තා වූ මෙම දුම්රිය අනතුර සිදුවී ඊයේ දිනට (ජනවාරි 13) වසර 18කි. සිද්ධියෙන් දිවි අහිමි වූවන් හා තුවාල ලැබූවන් වෙනුවෙන් ශෝකය පළ කරන අතරම අනාගතයේ කිසිම දිනක මෙවන් ඛේදවාචක නොවේවායැයි පතන්නෙමු. මේ දැක්වෙන්නේ එම අනතුරේ සහ අනතුරට ලක්වූ දුම්රිය මැදිරි වල ඡායාරූප කිහිපයකි. (එම ඡායාරූපවල අයිතිය මුල් හිමිකරුවන් හට හිමි විය යුතුය)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *