ශ්‍රී ලංකාවට ගංජා ජාවාරමක් වැළැක්වෙයි: කිලෝග්‍රෑම් 292ක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකාවට ජාවාරම් කිරීම සඳහා රැගෙන යමින් තිබූ ගංජා කිලෝග්‍රෑම් 292ක් රාමනාදපුරම් ප්‍රදේශයේදී ඉන්දීය Q Branch පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් තිදෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.

රාමනාදපුරම් Q Branch පොලීසියට ලැබුණු තොරතුරක් මත, පොලිස් පරීක්ෂක ජීවමානි ධර්මරාජ්ගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් සිකුරාදා අලුයම සිට විමර්ශන සහ නිරීක්ෂණ මෙහෙයුමක් සිදුකර ඇත.

එහිදී උච්චිපූලි ආසන්නයේ පුදුමඩම් බස් නැවතුම්පොළ අසලදී වෙරළ ප්‍රදේශය දෙසට ගමන් කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන රථයක් නතර කර පරීක්ෂා කර තිබේ.

එම රථය පරීක්ෂා කිරීමේදී එළවළු ගෝනි අතර සඟවා තිබූ ගංජා පාර්සල් 146කින් සමන්විත කිලෝග්‍රෑම් 292ක තොගයක් සොයාගෙන ඇත. එක් ගෝනියක කිලෝග්‍රෑම් 2 බැගින් වූ පාර්සල් අටක් අඩංගු කර තිබූ බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් තූත්තුකුඩි දිස්ත්‍රික්කයේ විලතිකුලම් ප්‍රාදේශීය කොට්ඨාසයට අයත් කොට්ටනාතම් ගම්මානයේ පදිංචි වයස අවුරුදු 25ක් වන තංගරාජ්, වයස අවුරුදු 50ක් වන කුමාරසක්කනාපුරම් ප්‍රදේශයේ සේකර් සහ රාමනාදපුරම් දිස්ත්‍රික්කයේ පෙරුංගුලම් ප්‍රදේශයේ පදිංචි සෙන්තිල්වේලන් යන තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, සැකකරුවන් මදුරෙයි ප්‍රදේශයේ කණ්ඩායමකින් මෙම ගංජා තොගය ලබාගෙන පසුව පරවයි වෙළඳපොළෙන් එළවළුද රැගෙන ඇති බවයි.

එමෙන්ම, සෙන්තිල්වේලන්ගේ මාර්ගයෙන් පුදුමඩම් වෙරළ ප්‍රදේශය හරහා මෙම ගංජා තොගය ශ්‍රී ලංකාවට ජාවාරම් කිරීමට සැලසුම් කර තිබූ බවද හෙළි වී තිබේ.

අත්අඩංගුවට ගත් ගංජා කිලෝග්‍රෑම් 292ක තොගය සහ සැකකරුවන් තිදෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා රාමනාදපුරම් මත්ද්‍රව්‍ය විරෝධී බුද්ධි ඒකකය වෙත භාර දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *