හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) ගොනු කර ඇති නඩුව සැප්තැම්බර් 22 වැනිදා වැඩිදුර විභාගය සඳහා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.
මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා හමුවේ මෙම නඩුව කැඳවනු ලැබූ අතර, ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව නඩුව සැප්තැම්බර් 22 වැනිදා යළි කැඳවන ලෙස විනිසුරුවරයා නියෝග කළේය.
එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සාක්ෂිකරුවන් වෙත සිතාසි නිකුත් කිරීමටද විනිසුරුවරයා නියෝග කර තිබේ.
අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ සමයේදී තම නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 75කට වැඩි වටිනාකමකින් යුත් වත්කම් නීති විරෝධී ලෙස උපයාගෙන ඇති බවට වීරවංශ මහතාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
චෝදනා අනුව, 2010 සිට 2014 දක්වා කාලය තුළ වීරවංශ මහතා අල්ලස් පනත යටතේ වරදක් සිදු කරමින් නීති විරෝධී ලෙස වත්කම් රැස් කර ඇති බවට චෝදනා කර ඇත.
මෙම නඩුව පසුගිය “යහපාලන” රජය පැවති සමයේදී ගොනු කර තිබේ.


