යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති ගාලු ලන්දේසි කොටුවේ භූගත ජලාපවහන පද්ධතිය මේ වන විට පිරිසිදු කර ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.
17 වැනි සියවසේ ලන්දේසි පාලන සමයේ ඉදිකරන ලද මෙම පද්ධතිය එම යුගයේ පැවති උසස් නගර ඉංජිනේරු තාක්ෂණයට කදිම සාක්ෂියක් ලෙස සැලකේ. එය අපජලය සහ වැසි ජලය කළමනාකරණය කිරීම සඳහා ඉදිකර ඇති එම යුගයේ හොඳම පද්ධති අතරින් එකක් බවද සඳහන් වේ.
මුහුදේ වඩදිය සහ රළ චලනය උපයෝගී කරගනිමින් දිනකට දෙවරක් ස්වයංක්‍රීයව පිරිසිදු වන ආකාරයට මෙම පද්ධතිය සැලසුම් කර තිබේ.
ශක්තිමත් ආරුක්කු හැඩයකින් යුතුව කළුගල් සහ ගඩොල් භාවිතයෙන් ඉදිකර ඇති මෙම භූගත ජලාපවහන පද්ධතිය, ලන්දේසීන්ගේ ඉංජිනේරු දැනුමේ දියුණුව මනාව පිළිබිඹු කරන බව නිලධාරීහු පවසති.
කාලයත් සමඟ වැලි සහ විවිධ අපද්‍රව්‍ය එක්රැස් වීම හේතුවෙන් මෙම භූගත ජාලයේ ඇතැම් කොටස් අවහිර වී තිබේ.
ඒ අනුව ගාල්ල මහ නගර සභාව විසින් අවහිරතා ඉවත් කර පද්ධතිය මුල් තත්ත්වයට පත් කිරීම සඳහා ක්‍රියාකාරීව පිරිසිදු කිරීමේ සහ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇත.


