රුවන්වැලි මහා සෑයේ ප්‍රතිසංස්කරණය ගැන ඇත්ත කතාව…

 රුවන්වැලි මහා සෑයේ ප්‍රතිසංස්කරණය ගැන ඇත්ත කතාව…

 බුදු රජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා   වැඩ සිටින රුවන්වැලි සෑයේ කොත් වහන්සේ ආශ්‍රිතව මේ දිනවල සිදුවන ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව විවිධ ආන්දෝලනාත්මක ප්‍රකාශ සමාජය පුරා පැතිර යමින් පවතී. සැබවින්ම එහි සිදු වන්නේ කුමක්ද? මේ ප්‍රතිසංස්කරණ කටයුතු වලට මුල් වූයේ කවුරුන්ද? මේ අප ඒ පිළිබඳව සිදු කළ ගවේෂණයේ හෙළිදරව්වයි.

මේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන්නේ ධානපති ව්‍යාපාරික ප්‍රභාත් නානායක්කාර මහතා විසිනි. නමුත් මෙතුමාණන් අන්‍යාගමිකකු වන ප්‍රකට විකට නළු එඩී නානායක්කාර මහතාගේ පුතණුවන් බවට අසත්‍ය ප්‍රචාර පැතිර යමින් පවතී.  

රුවන්වැලි සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු වලට මුල් වූ  ප්‍රභාත් නානායක්කාර කවුද?

මීට සියවසකට පමණ පෙර, බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේදී රුවන්වැලි සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල පෙරමුණ ගත්තේ බෞද්ධ ධානපතියෙකු වූ එවකට රුවන්වැලි සෑයේ වර්ධන කමිටුවේ සභාපති, ඇවරියවත්තේ රනිසිරිනෙල් වෙද මහතාය. මෙතුමා රුවන්වැලි සෑයේ කොත් වහන්සේ, තමන් විසින් තනවා ඇවරියවත්ත නිවසේදී සැදැහැති පිරිසට වන්දනා කිරීමට සැලැස්වූවා පමණක් නොව දුම් කෝච්චියෙන් ගෞරව පුද සත්කාර මැද අනුරාධපුරයට වැඩමවා රුවන්වැලි සෑය මත පැළදුවේය. එතුමාගේ නම සහිත පුවරුවක් අදටත් රුවන්වැලි සෑයේ පාමුල දැකිය හැකිය. 

ප්‍රභාත් නානායක්කාර යනු, මේ සා විශාල සේවාවක් සිදු කළ රනිසිරිනෙල් වෙද මහතාගේ මී මුණුබුරාය. තම මුත්තණුවන්ගේ මග අනුගමනය කරමින් ප්‍රභාත් නානායක්කාර මහතාද මේ සේවාව ඉදිරියට ගෙන යනු පිණිස විශ්ව පාරමී පදනම සහ ධම්ම පාරමී පදනම පිහිටුවීය.  ඒ ඔස්සේ සුවිශේෂී ශාසනික සේවාවන් රැසක් සිදු කළ අතර ඒ කිසිවකින් තමා හුවා දැක්වීමට ප්‍රභාත් මහතා කිසිවිටෙකත් උත්සහ නොකළේය. අප්‍රකටව තම පුණ්‍ය කටයුතුවල නිරතවීම එතුමාගේ චරිතයේ කැපී පෙනෙන ලක්ෂණයකි. නොකළ-සේවය කළා යයි ලොවට හඬ ගා කියන යුගයක, කළ සුළු සේවය ගැනත් අණ බෙර ගසා පුරසාරම් දොඩන යුගයක, එතුමා මේ ලක් පොළවින් මතුවූ දුර්ලභ මාණික්‍යය රත්නයක් වැනිය.  

ඔහු සිදුකර ඇති සේවාවන් මොනවා ද?

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වූ බුද්ධගයාවේ පිහිටි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වටා පිහිටුවා ඇති රන් වැට ප්‍රතිසංස්කරණය කොට එහි රන් ආලේප කිරීම සිදු කළේ,  මෙතුමාය. අනුරාධපුර උඩ මළුවේ වැඩ සිටින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ප්‍රාකාරය ශෛලමය අයුරින් ප්‍රතිසංස්කරණය කිරීම, ඇති විශාල රත්‍රන් ප්‍රමාණයක් යොදා ගනිමින් රන් වැටෙහි ආලේප කිරීම සහ  එහි සමස්ථ ආලෝක පද්ධතිය සකස් කොට පූජා කිරීම ද මෙතුමා අතින් සිදු විය.

එමෙන්ම මහනුවර දළදා මාළිගයේ, වැඩ හිඳින මාළිගයේ දිරා ගොස් තිබූ ලී පොළව යළි ප්‍රතිස්ථාපනය කළේය. වසර දහස් ගණනක් තිස්සේ නටබුන්ව පැවති ඓතිහාසික විල්ගම්වෙහෙර සෝමාවතී සෑය සම්පූර්ණයෙන්ම ගොඩ නැගීමද, එහි සංඝාවාස, ධර්ම ශාලා, දාන ශාලා, විශ්‍රාම ශාලා, පෙත්මලු ආදියෙන් යුතු අංගසම්පූර්ණ විහාර භූමියක් තැනවීමද මෙතුමා අතින් සිදු විය. ආරණ්‍ය සේනාසන සහ විහාරස්ථාන සඳහා සීමා මාලක, භාවනා කුටි සිය ගණනක් තනා පූජා කළේද මෙතුමාය.

මේ, එතුමා අතින් සිදු කළ පුණ්‍යකර්ම අතරින් කිහිපයක් පමණි. තවත් නොකී දෑ බොහෝය.  මේ සෑම පුණ්‍ය කටයුත්තක්ම සිදු වන්නේ මෙතුමාගේ පෞද්ගලික ධනයෙන්ම වන බවද මෙහිලා සඳහන් කළ යුතුමය. තම මුත්තණුවන් විසින් රන් ආලේප කොට තැනවූ රුවන්වැලි සෑයේ කොත් වහන්සේගේ වත්මන් ප්‍රතිසංස්කරණ කටයුතුත්, එහි රන් අලේප කිරීමත් ප්‍රභාත් නානායක්කාර මහතා සිදු කරන්නේ බුද්ධ ශාසනය උදෙසා තම පාරම්පරික යුතුකම නොපිරිහෙළා ඉටු කිරීමක් ලෙසිනි.

එම උදාර පුණ්‍යකර්ම විවේචනය කරමින් පසුගිය දිනවල විවිධ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වෙබ් අඩවි ඔස්සේ පැතිරුණු අසත්‍ය ප්‍රචාර සඳහා පිළිතුරු ලබා දීමේ මාධ්‍ය හමුවක් ඔක්තෝම්බර් 24 වැනි දින මහා සංඝරත්නය, පුරා විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්තුමන්, පොලිස්පතිතුමන් සහ ප්‍රවීණ ඉංජිනේරුවන්ගේ සහභාගීත්වයෙන්  ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පවත්වනු ලැබිණි.

 එබැවින් නිසි ලෙස කරුණු සොයා බලා අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී අගය කල යුතු තැන අගය කිරීම අප විසින් කල යුත්තකි.

කළ ගුණ දන්නෝ දුර්ලභය ය

මෙතුමන් ට දොස් කියූ බොහෝ දෙනා නොදන්නා තවත් කරුණක් වන්නේ, මෙතුමන් සිදුකළ යම් හෝ සේවයක සුළු හෝ උපකාරයක් අප හට ද වක්‍රව හෝ උපකාර වන්නට ඇති බව ය.

මෙතුමන් ට ගැරහූ බොහෝ දෙනා ඉතා හොඳ බෞද්ධයෝ ය. ගැරහීමට හේතුව රජ්‍ය නිලධාරින් නිවැරදි තොරතරු වසන් කිරීම ය. බෞද්ධයෝ බුද්ධගයාවේ ජයශ්‍රී මහා බෝ සමිඳු දුටුවිට සාදු කාර දෙති. ඒ සාදු කාර දෙනවිට එම ස්ථානයේ ඇති සුන්දරත්වය දැක සිත් සතුටුකර ගනිති. එනමුත් එහි සුන්දර රන්වැට නිර්මාණය කළ, රැක බලාගන්නා මිනිසා නොහඳුනති.

අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දිදුළන රන් වැට දැක සාදු කාර දෙති. එනමුත් 60 දශකයෙන් පසු රජයෙන් හෝ සිදු නොකළ රන් අලේප කිරීම කළ මිනිසා නොහඳුනති.

ඒ වාගේම බෞද්ධයන් වසරක් පාසා වන්දනාවේ යන තවත් ස්ථාන රාශියකි. එසේ යන සමහර තැන්වල මං පෙතක් හෝ මෙතුමා සකසා හෝ ඇතිබව බොහෝ දෙනා නොදනිති. අප සත්‍ය තොරතුරු සමාජගත කළේ නැත්නම් ඒ මංපෙත් මතම ඔහුටම බැන බැන අප යනු නොඅනුමානය.

නිදහසින් 60 වසරක් යනතුරුත් අධිවේගී මාර්ගයක් හදා ගන්නට බැරි වූ අපේ රටේ සමහර දේශපාලන පක්ෂ, අලුතින් ඉදිකළ අධිවේගී මාර්යේම ගමන් කරමින් එම මාරගයේම බස් වලින් සෙනග අදිමින් මාර්ග තැනූ අයට විරුද්ධව රැස්වීම් සංවිධානයකරන අයුරින් අප ද අපගේ කටේ දිග පළල ඇති පමණට කිසි වරදක් කර නැති අය සේ පව් කාරයට ගල් ගසන්නට සුදානම් වනු ඇත.

එනමුත් අප මෙවර බුකිය පුරා ගල් ගැසුවේ වැඩකරන සමහර දේශපාලකයන් මෙන් (වැඩ නොකරන එවුන් ගොඩක් මැද) වැඩක් කර කොමිස් ගත් අයෙකුට ද නොවේ. අඩුම තරමින් වැඩක් කර නම හෝ ප්‍රසිද්ධ කරවා ගත් අයෙකුට ද නොවේ.

ඔහු කොතරම් සුන්දර චරිතයක් ද කීවොත් මේ සිද්දියේ දී පවා මිනිසුන් අතර චරිතයක් නොවීමට වගබලා ගත්තේ ය. ඔහු ගේ චායාරුපයක් හෝ අදටත් මාධ්‍යවේදීන් ට සොයා ගත නොහැකි ය.

සමහරවිට බුද්ධ ගයාවේ දී ඔබ ලඟින් සිටිමින් බුදුන් වන්දේ ඔහු විය හැකිය. ඔබ සමඟ පෝලිමේ දළදා වැන්දේ ඔහු විය හැකි ය. ජය ශ්‍රී මහා බෝධිය පාමුළ
ඔබ කැමරාව ඔසවාගෙන කරකවන විට, ඔබගේ උජාරුව ඇඳුමෙන් පුජා වට්ටියෙන් පෙන්වන විට මළුවේ කොනක බුදුගුණ සිහිකලේ ඔහු විය හැකි ය.

අප ඇත්තටම වාසනාවන්ත විය.ඒ ඔහුගේ චායාරූපක් ලබා ගන්නට. ඔව්, ඔබත් කැමති ඇති එය දකින්නට. අවාසනයකි, මෙවන් ගුණ ඇති උතුමෙක් මාධ්‍යයේ ප්‍රචාරණය උදෙසා අපට භාවිතා කිරීමට සිත් නොවන්නේ ය.

LKREPORTS 

තොරතුරු Shraddha TV ඇසුරිණි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *