රුවන්මැලි සෑය බබුළුවන නව චූඩා මාණික්‍යය සෑ මුදුනට වඩමවයි

රන්පාදම සහිත නව චූඩා මාණික්‍යය ඓතිහාසික රුවන්වැලි මහා සෑ රදුන්ට පැළඳවීම අද(25) පස්වරුවේ සිදුකෙරිණි.

චූඩා මාණික්‍යය පැළඳ වූ කොත හෙට(26) උදෑසන මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් නිරාවරණය කිරීමට නියමිතය.

ක්‍රිස්තු පූර්ව 140 දී පමණ දුටුගැමුණු මහ රජතුමන් විසින් ඉදිකරවන ලද රුවන්වැලි මහා සෑය අවසන්වරට ප්‍රතිසංස්කරණය කොට චූඩාමාණික්‍යය පැළඳවීම සිදුවූයේ 1939 වසරේදීය.

කාලයාගේ ඇවෑමෙන් එම චූඩාමාණික්‍යය පළුදු වී, දුර්වර්ණ වීම නිසා රන්පාදමක් සහිත නව චූඩා මාණික්‍යයක් නිර්මාණය කිරිමට පියවර ගැනුණි.

එහි පළිගු කොටස සඳහා භාවිත කර තිබෙන්නේ දියමන්තිවලට පමණක් දෙවැනි වන රොක් ක්‍රිස්ට්ල් නම් පාෂාණයයි. ස්වභාවික නිල් මැණික් , රතු මැණික් ඇතුළු මැණික් ගල් 5320 ක් යොදාගෙන නිමැවුණු මේ සඳහා පිරිසිදු රත්රන් කිලෝග්‍රෑම් 28 කට වැඩි ප්‍රමාණයක් භාවිත කර තිබේ.

එලෙස නිර්මාණය වූ රුවන් වැලිමහ සෑ රදුන්ගේ නව චූඩා මාණික්‍යය පැළඳවීමට පෙර ජනතාවට දැක බලා ගැනීම සඳහා ඉකුත් නොවැම්බර් 18 වැනිදා සිට කොළඹ ඇතුළු දිවයිනේ ස්ථාන කිහිපයකදී ඉඩසලසා තිබූ අතර අද දහවල් 12 දක්වා එය රුවන්වැලි සෑ පුදබිමේදී ප්‍රදර්ශනය කෙරිණි.

චූඩා මාණික්‍යය රුවන්වැලි මහා සෑ රඳුන්ට පැළදවීම සදහා චෛත්‍යරාජයාණන්ගේ මුදුනට වැඩම කරවූ අතර ඉන් පැය කිහිපයක් ගතවූ පසු රුවන්වැලි සෑ රඳුන් මෙතෙක් දරා සිටි චූඩා මාණික්‍යය , කොත් වහන්සේගෙන් ඉවත් කර පහළට රැගෙන එනු ලැබීය.

ඒ අනුව රන් පාදම සහිත නව චූඩා මාණික්‍යය පැළඳ වූ කොත හෙට උදෑසන 10 ට මල්වතු පාර්ශ්වයේ මහානායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් නිරාවරණය කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *