LK reports news sinhala

දම්පල්තුමන් කී සිංහල ධනවතුන්ගේ ගති

උඩරටේ සිංහල ධනවතුන් නැතත් කුරුඳු, පොල්, පැඟිරි, මිනිරන් යන ද්‍රව්‍ය වෙළඳාම් කිරීමෙන් පහතරට සිංහලයන් ස්වල්ප දෙනෙක් ධන රැස්කරගෙණ තිබේ. මේ ධන රැස්කර ගැනීමට පරදෙශික ශාස්ත්‍රාචාරීන්ගෙන් ශිල්ප ශාස්ත්‍රයක් මේ ධනවතුන් උද්ග්‍රහණය නොකළෝයි, ස්වදේශ ඥානයෙන් ස්වදේශ වීර්‍ය්‍යයෙන් ස්වදේශීන්ගේ බලයෙන් පොල්, කුරුඳු ආදිය වැවීමකොට ඇතැම් සිංහලයෝ ධන රැස්කර ගත්තෝය. ස්වදේශ ඥානයෙන්, ස්වදේශ වීර්‍ය්‍යයෙන්, ස්වදේශාලයෙන් මිණිරන් පතල්වලින් ඇතැම් සිංහලයෝ ධනවතුන්වී සිටිති. මෙසේ රැස් කළාවූ ධනයෙන් සිංහල ධනවතුන් කරන්නේ කුමක්දැයි විභාග කටයුත්තේය. සිංහලයන්ට අයිති රටෙන්, සෛංහල බලයෙන් ධන උපදවාගෙන ස්වදේශාලයෙන් ස්වජාතිය, ආගම, රට වර්‍ධනය කිරීමට ඒ ධනය වියදම්  නොකොට අපේ සිංහල ධනවතුන් පළමුකොට කරන්නේ සුද්දාගේ තොප්පිය හිසට දැමීමයි. ගෙයක් කරවා ඊට සුද්දාගේ රටේ තිබෙන ගමක නමක් දීමයි. පුතාට හැමිල්ටන්, ආර්කිලෙස්, ඇලජින්ස්ටන්, ඩන්කන්, ඔස්බර්න් යන නම් රාශියක් ඒකාබද්ධකොට පෙරේරා, සිල්වා, ප්‍රනාන්දු, දියස්, පීරිස් ආදී ප්‍රංගි නම්වලට යාකර ගැනීමයි. ධනවත් එකම සිංහලයෙකුට ප්‍රඥාව තිබේ නම්  දැන් කරණ විකාර කරන්නේ නැත. ධනවතාගේ පුතා කලිසම්, තොප්පි, කෝට්, ටයි, කොලර්, කමිස, සපත්තු ඇඳගෙණ කටේ සිගරට් එක තබාගෙණ දුම් පිට කරමින් වේගයෙන් දුවන අශ්වයෙක් රෝදදෙකෙ රථයකට බැඳ කොල්ලුපිටියේ ගෝල්පේස් පාරේ එලවාගෙණ යාමයි. ශාස්ත්‍රාදිය කිසිත් නූගත් මව්පිය දෙදෙනා පුරාණ චාරිත්‍රාදිය පැවැත්තු නුමුත් ආර්කිලෙයස් හැමිල්ටන් මල්කි  සෙදෙක් පුත්‍රයා සහ මැටිල්ඩා ග්‍රෙස් ලිලියන් ගර්ටියුඩ් නම් දුව පුරාණ කුලධර්‍ම ප්‍රතික්ෂේප කොට යුරොපීය චාරිත්‍රානුකූලව ගමන් කරති.

මිරිස්, කරපිංච කොළ, කොහිල දලු, කුරුම්බා ඇටිවල්ලක් එකතු කරණලද කූඩයක්  හෝ වට්ටියක් මෙන් පිදුරුවලින් කරණලද නැට් එකක් හිසදමාගෙණ රාගනිශ්‍රිත ඉංග්‍රීසි “නොවල්” ග්‍රන්ථ කියවන ගවුම් අඳින සිංහල  තරුණ ස්ත්‍රීන්  ගැණ අනුකම්පා කිරීම වටින්නේය. ගෝල්පේස් හෝටලේ පිටිපස්සේ දොරෙන් ඇතුල් වී කලු අප්පුගෙන් විස්කි ග්ලාස් එකක් මිළදී පානයකොට සිංහල ධනවතාගේ පුත්‍රයා අනාර්‍ය්‍ය ක්‍රියාවල යෙදෙන්නේය. ඇතැම් සිංහල තරුණ තරුණියන් වැඩි ධන වියදම්කොට කාර්ගිල්, වයිට්වේ ලේඩ්ලො ඉංග්‍රීසි වාණියන්ගේ ආපන ශාලාවලට පැමිණ ටුවිඩ්,  නොම්ස්පන් ආදී ඉංග්‍රීසි පිළිවෙළට “පැෂන්” එකට කලිසම්, කෝට්, ගවුම් බ්ලවුස් ආදිය මස්සවා ගෙණ අඳිනු ලබන්නෝය. බොහෝ ධන වියදම් කිරීමට අකමැති සිංහල තරුණ තරුණියෝ පිටකොටුවේ කාරල්ලාගේ සාප්පුවට කුරය්යා පාවය්යා පින්තු මැල් යන පරවරුන්ගේද, පක්කීර්තඹි මහමදු ලෙබ්බෙගේ හෝ ආපන ශාලාවලට පැමිණ “ලේටස්ට් පැෂන්”වලට අනුකූලව රෙදිපිළි මිළදීගෙණ ඇඳීම කරන්නෝය. සිංහල තරුණ එක කොටසක් සුද්දාගේ සාප්පුවට ගොස් සුද්දා කියන ඕනෑ බොරුවක් විශ්වාසකොට අත තිබෙන ධනය මෙසේ වියදම්කර ගණිති. අනික් කොටස යුරෝපීය ක්‍රිස්තියානින් කරණ අධමක්‍රියා නොකරණ පක්කීර තම්ඹිගේ සාප්පුවේ තිබෙන තොප්පි ආදිය මිළදී ගෙණ තමන් ධනය අනර්ථයේ වියදම් කරනු ලැබේ.

දෙමළා පවා තමන් අඳින වස්ත්‍රය ස්වකීය තන්තවායන් ලවා වියවාගෙන අඳිනු ලබන්නෝය. මරක්කලයාද හම්බයාද  තමන් අඳින සරම වියවාගන ඇඳීම කරති. සිංහලයාට ඒතරමටත් කර ගැණීමට ඥානයක් නැත. කිසි ශිල්පයක් නොදත් සිංහලයාට වියන්ට පුලුවන් කොහු පැදුරක් හෝ පන්පැදුරක් පමණයි. පරදෙශික සුද්දා නැතිවූදාට කොහු ලනුවක් ඉනේ බැඳගෙන පැදුරු කෑල්ලක් ඔතා ගැණීමට ගවුන් කලිසන් අඳින සිංහල ස්ත්‍රී පුරුෂයන්ට සිද්ධවේවි. මෙලොව නානා ජාති, නානා කුල, නානා ගෝත්‍ර දකිණු ලැබේ. විපර්‍ය්‍යාස ඥානය, විපර්‍ය්‍යාස ගති, විපර්‍ය්‍යාස දෘෂ්ටි ඇති මනුෂ්‍ය කොටසක් සිංහලයන් හැර වෙන ජාතියක් නැත. මෙතෙක් පහතරට සිංහලයෝ පමණක් මේ විපර්‍ය්‍යාසවලට අසුවී සිටියෝය. කලක පටන් උඩරට සිංහලයන් මේ විපර්‍ය්‍යාස දැලේ වැටෙන්ට පටන්ගෙණ තිබේ.

“සිංහලයා මෝඩයා

කැවුම් කන්ට යෝදයා”

පිටරටින් අපරටට සම්ප්‍රාප්තවෙන පරදේශීන් විසින් මේ දෙපදය සිංහලයන්ට නිග්‍රහවශයෙන් සජ්ඣායනා කරණු ලැබේ.

ක්‍රිස්තියානීන්ගේ පල්ලිවල ඉංග්‍රීසියෙන්

“where every  prospect pleases. But only man is vile.”

ගීතිකා කරණු ලැබේ. මේ දෙපදේ තෙරුම ලංකාවේ සියළු දේ රමනීයයි. මනුෂ්‍යයා පමණක් තිරශ්චීනයි.

පරම්පරා කථා, ඉතිහාස කථා, ධර්ම කථා පුරාණ සිංහල  ග්‍රන්ථවල අන්තර්ගතයි. සුද්දාට  දාසකම් කරණ සිංහලයෝ මේ කිසිත් නොදැන යුරෝපීය බීම යුරෝපීය කැම යුරෝපීය වස්ත්‍රාභරණ යුරෝපීය නාම යුරෝපීය දුශ්චරිත ගෙණ අනර්ථයට වැටෙති.

සිංහල මගුලකට අභිනව යුවලට ත්‍යාග යවන්නේ කෘවට් ස්ටැන්ඩ් (Cruet-Stand), බටර් ඩිෂ් (Butter dish),කේක් බාස්කට් (Cake Basket), බිස්කට් බොක්ස් (Biscuit Box), ජෑම් පොට් (Jam Pot), ෂුගර් බෝල් (Sugar Bowl)යනාදී  සුද්දාට ප්‍රයෝජනවත් ද්‍රව්‍යයයි. ඉංග්‍රීසි ප්‍රවෘත්ති පත්‍රවල අසවල් ගෘහ බන්ධනයට අසවල්ලුන් මේ මේ ත්‍යාග එව්වායි කියා ත්‍යාග වට්ටෝරුව ප්‍රසිද්ධ කරණු ලැබේ. “කෘවට් ස්ටාන්” එකක් එක ගෘහයකට ප්‍රමාණ වන්නේය. එක මගුලකට ත්‍යාග වශයෙන් කෘවට් ස්ටාන් දහය දොළහ ලැබේ. මේ අන්දමේ ගොන් මෝඩකම් කරණ අධම අන්ධ බාල මනුෂ්‍ය කොටසක් ලොව තවත් ඇත්තේ එක වර්ගයයි.  අප්‍රිකාවේ ක්‍රිස්තියානිය පිළිගෙණ සිටින කලු කාබේරි සුළු ජාතික කොටසයි. යුරෝපීය වත්පිළිවෙත් කරණ සිංහල කොටසත්, ක්‍රිස්තියානිය පිළිගත් කාබේරි කොටසත් එක අන්දමට ක්‍රියාකරණු ලැබේ. මේ විපර්යාස අත්හැර ආර්‍ය්‍යජාතික දඹදිව්වාසීන්ගෙන් පැවතෙන සිංහල  සහෝදරයිනි, ආර්‍ය්‍ය චාරිත්‍ර, ආර්‍ය්‍ය ඇඳුම් ආර්‍ය්‍ය නාම ගෙණ ශිල්ප කර්මාන්ත ඉගෙණගෙණ සිංහල ජාතිය  ශ්‍රේෂ්ඨ ජාතියක් කිරීමට වීර්‍ය්‍ය කරණු මැනවි.

ප්‍රතිපත්ති අන්තර්ධානයක්, ලිංග අන්තර්ධානයත් වූ කල ශාසනයත් පවතින්නේ නැත. වත් පිළිවෙත පැවැත්වීම නොකරණ තැනැත්තා කිසි කලක අභිවෘද්ධියකට නොපැමිණෙන්නේය. වත් පිළිවෙත් පරම්පරාගත කුල ධර්ම අනුව නොයන මනුෂ්‍යයා වනචරයෙකි. ඒ ඒ ජාතීන්ට යොග්‍යවූ වත් පිළිවෙත් සහ ප්‍ර දේශ ප්‍රඥප්තිද පණවා ගැනීම හේතු කොටගෙණ ජාති සමඟිය පවතින්නේය. බ්‍රාහ්මණයන්ගේ බ්‍රහ්මධර්මයක්  තිබේ. ක්ෂත්‍රියාගේ ක්ෂත්‍රිය ධර්‍මයක් තිබේ. වෛෂ්‍යයාගේ ගෘහස්ථ ධර්‍මයක් තිබේ. ධර්‍මයක් නැති මනුෂ්‍යයා ශුද්‍රයායි සංඛ්‍යා කර තිබේ.

ලිංග අන්තර්‍ධානය වූ භික්ෂු ශාසනය නැත. සිංහල තරුණයන් ස්වකීය කුලධර්‍ම අත්හැර ම්ලේච්ඡ අනාර්‍ය්‍ය අපවිත්‍ර ශුද්‍රයන්ට අයිති අනර්ථධර්ම භාවිතා කිරීම හේතුකොටගෙණ ටික කලකින් සිංහල ජාතිය සූන්‍ය භාවයට පැමිණෙනවා  නිසැකයි.

සිංහල ස්වල්ප දෙනෙක් ධනවතුන් වී මහජනකාය හීන භාවයට පැමිණ පර දෙමලුන්ගේ සංඛ්‍යාවට වැටුණොත් අහෝ කොපමණ හානියක් ද? එකවිටම ජාතිය නැතිවීයාම වඩා හොඳයි. අනාථව දාසකම් කරමින් අඥානව සිටීම ආර්‍ය්‍ය ධර්මයට විරුද්ධයි. සිංහල ජාතිය වෘද්ධිභාවයට පමුණුවා ගැණීමට ගිහි පැවිදි දෙකොටසම සමඟිකමින් සමාදානයෙන් එකීභාවයෙන් ක්‍රියා කටයුතුයි. ශාස්ත්‍රශිල්ප ශාලා විවෘත කොට සිංහල බාලක බාලිකාවුන්ට බාල කාලයේ සිට ශිල්ප කර්‍මාන්ත උද්ග්‍රහණය කටයුතුයි. ජර්මනිය, අමෙරිකාව, දඹදිව, ජපන්, එංගලන්තය, ප්‍රන්සය, ඉතාලිය යන රටවලට සිංහල තරුණයන් යවා ශාස්ත්‍රශිල්ප උගැන්වීමට මාර්ග තැනිය යුතුයි.

විපර්‍ය්‍යාස ගති අලසකම අත්හැර ගිහි පැවිදි දෙකොටස සමඟියෙන්  ක්‍රියා කරන්ට උත්සාහ කටයුතුයි.

ධනවත් සිංහල තරුණ මහතුන් විසින් ස්වකීය ධනය අනර්ථයේ වියදම් නොකොට ආර්‍ය්‍ය සිංහල ජාතිය දියුණුකිරීමට වියදම් කටයුතුයි.

දිවා රාත්‍රී දෙක්හිම සිංහලයන් වීර්‍ය්‍යකළොත් පස් වර්‍ෂයක් තුළ සිංහල ජාතිය දියුණු අඩියකට පමුණුවා ගත හැකියි.

සිංහලයිනි, සිංහවීර්‍ය්‍යයෙන් ක්‍රියා කරණු.

(සි.බෞ. 1911.10.14)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *