රතු මුහුදේ ගැටලුව විසඳන්න චීනය පෙරට

රතු මුහුදේ වෙළෙඳ නෞකාවලට යේමනයේ හූලි කැරලිකරුවන් එල්ල කරන ප්‍රහාර නිසා ගෝලීය නෞකා ප්‍රවාහන කටයුතුවලට එල්ල වී ඇති බලපෑම, අපනයන මත පදනම් වූ චීන ආර්ථිකයකට අහිතකර ප්‍රතිඵල අත්කර දෙන බව අප මීට පෙරද ඔබ වෙත තොරතුරු ඉදිරිපත් කළේය.

විශේෂයෙන් කොරෝනා වසංගතයෙන් පසු අපේක්ෂිත ආර්ථික වර්ධනය සාක්ෂාත් කරගැනීමට අපොහොසත් වී සිටින චීනය මේ නිසා යම් පියවරකට එළැඹීම අපේක්ෂා කළ හැකි කරුණකි.

මෑතක සිට මැදපෙරදිග සහ අප්‍රිකානු රටවල් සමග සමීප සබඳතාවන් පවත්වන චීනයට ඒ සඳහා, ඇතැම්විට බටහිර රටවලටත් වඩා රාජ්‍ය තාන්ත්‍රික හැකියාවක් පවතී.

ඒ අනුව හූති කැරලිකරුවන් රතු මුහුදේ නෞකාවලට එල්ල කරන ප්‍රහාර වැළැක්වීම සඳහා චීනය ප්‍රවේශ වී ඇත්තේ ඉරානය වෙතය.

ඉරානය හූති කැරලිකරුවන් ඇතුළු මැදපෙරදිග සන්නද්ධ කණ්ඩායම්වලට සහාය දක්වන බව බොහෝ දෙනා පිළිගත් කරුණකි.

විශේෂයෙන් ඊශ්‍රායලය සහ බටහිර විරෝධී කණ්ඩායම්වලට ඉරානයේ අවි සැපයුම් පවා සිදුවන බව වාර්තා වේ.

මේ නිසා චීන බලධාරීන් දැනටමත් ඉරාන බලධාරීන් සමග මේ පිළිබඳ සාකච්ඡා කර ඇති බව රොයිටර්ස් පුවත් සේවය අනාවරණය කළේය.

නෞකාවලට එල්ල කරන ප්‍රහාර නතර කිරීම සඳහා හූති කැරලිකරුවන්ට බලපෑම් කරන ලෙස චීන බලධාරීන්, ඉරානයෙන් ඉල්ලා ඇත.

එහේ නොමැති වුවහොත් චීන – ඉරාන සබඳතාවලට හානියක් සිදුවිය හැකි බව ඉරානය පෙන්වා දී තිබේ.

ඉරාන රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය සඳහන් කළේ, හූති කැරලිකරුවන්ගේ ප්‍රහාර සම්බන්ධයෙන් චීන සහ ඉරාන බලධාරීන් අතර සාකච්ඡා කිහිපයක්ම පවත්වා ඇති බවය.

එහිදී චීනය ඉරානයට පවසා ඇත්තේ කලාපය තුළ සිය අභිලාෂයන්ට යම් ආකාරයක හානියක් සිදුවුවහොත්, එය චීන – ඉරාන වෙළෙඳ සබඳතාවලට අහිතකර වනු ඇති බවය.

මේ නිසා හූති කැරලිකරුවන්ට ප්‍රහාර නතර කරන ලෙස බලපෑම් කරන්නැයි චීනය ඉරාන බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් චීන පාර්ශ්වය හෝ ඉරානය නිල වශයෙන් කරුණු හෙළිදරව් කිරීමක් සිදුකර නොමැත.

පසුගිය වසරේ ඉරානයේ බොරතෙල් අපනයනවලින් 90%ක්ම මිලදී ගෙන ඇත්තේ චීනයයි.

විශේෂයෙන් අමෙරිකානු සම්බාධක හමුවේ ඉරානයට වෙළෙඳ පාර්ශ්වකරුවෙකු ලෙස චීනය අතිශයෙන් වැදගත් වේ.

එහෙත් ඉරානයේ 90%ක තෙල් අපනයන, චීනයේ මුළු තෙල් ආනයනවලින් 10%ක් පමණයි.

මේ නිසා ඉරානය නොමැතිව වුවද සිය බොරතෙල් සැපයුම් වෙනත් වෙළෙඳ පොළකින් සොයා ගැනීම සඳහා චීනයට වැඩි හැකියාවක් පවතී.

මේ තත්ත්වය මත ඉරානය චීනය වෙනුවෙන් හෝ හූති ප්‍රහාර වැළැක්වීම සඳහා යම් පියවරකට එළඹෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

ඉරානය හූති කැරලිකරුවන්ට පමණක් නොව මැදපෙරදිග ගාසා තීරයේ, ලෙබනනයේ, සිරියාවේ සහ ඉරාකයේ සන්නද්ධ කණ්ඩායම්වලට සහාය පළ කරයි.

එමෙන්ම කවර තත්ත්වයක් යටතේ වුවද ඉරානය කලාපීය වශයෙන් වැදගත් වන තීරණයකට එළැඹෙනු ඇත්තේ කලාපය තුළ සිය  ප්‍රමුඛතා සැලකිල්ලට ගෙන බව ද විචාරකයන් පෙන්වාදෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *