“රතු එළියත් නොතකා බස් රථය ධාවනය කරලා” දෙල්කන්දේ සිද්ධියට රියැදුරුට එරෙහිව නීතිමය පියවර

දෙල්කන්ද මංසන්ධිය ආසන්නයේදී රථවාහන සංඥාවේ රතු එළිය නොතකා අනතුරුදායක සහ නීති විරෝධී ආකාරයෙන් බස් රථයක් ධාවනය කළ බව දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් පැතිර යාමෙන් පසු, අදාළ බස් රථයේ රියැදුරුට එරෙහිව පොලිසිය ක්‍රියාමාර්ග ආරම්භ කර තිබේ.

පොලිසිය සඳහන් කළේ මෙම සිද්ධිය සැප්තැම්බර් 12 වැනිදා කොළඹ-අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේදී සිදුව ඇති බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවේ දැක්වෙන්නේ රථවාහන සංඥාවේ රතු එළිය දැල්වී තිබියදී බස් රථය මංසන්ධියේ වම්පස පිහිටි අතුරු මාර්ගයකට හරවා ධාවනය කරන ආකාරයයි.

එම අතුරු මාර්ගය ඔස්සේ රතු එළිය සහිත රථවාහන සංඥාව පසුකර ගොස් නැවත ප්‍රධාන මාර්ගයට බස් රථය ඇතුළු වන ආකාරයද වීඩියෝවේ දැක්වේ. ඒ අනුව බස් රථය රතු එළිය මගහරිමින් ධාවනය කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

අදාළ බස් රථයේ හිමිකරු මිරිහාන පොලිස් රථවාහන අංශයට කැඳවා ප්‍රකාශයක් ලබාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සිදුවන අවස්ථාවේ බස් රථය ධාවනය කළ රියැදුරු දින තුනක් ඇතුළත පොලිස් ස්ථානයට ඉදිරිපත් කරන ලෙස බස් රථ හිමිකරුට පොලිසිය දැනුම් දී තිබේ.

එම රියැදුරු කිසියම් නීති විරෝධී මත්ද්‍රව්‍යයක් භාවිත කර තිබුණේද යන්න තහවුරු කරගැනීම සඳහා මත්ද්‍රව්‍ය පරීක්ෂණයකටද යොමු කිරීමට නියමිතය.

අනතුරුදායක ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් චෝදනා යටතේ රියැදුරු අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *