රජය හරිත බැඳුම්කර සඳහා විදේශ අරමුදල් ලබා ගැනීමට සැරසේ

පවතින හරිත ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයීම, රටේ දේශගුණික වගකීම් සපුරාලීම සහ තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා හරිත බැඳුම්කර මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා විදේශීය පාර්ශව සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට රජය සැලසුම් කරයි.

“මෙවැනි මූල්‍ය පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ බැංකු දිරිමත් කිරීමට මා යෝජනා කරනවා” යැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී සිය මංගල අයවැය කතාව කරමින් පැවසීය.

දේශගුණික විපර්යාස වැනි ගෝලීය ගැටලු සඳහා තිරසාර විසඳුම් සෙවීම සඳහා ගෝලීය සහයෝගීතාව අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.

“මේවා දේශීය ක්‍රියාමාර්ගවලින් පමණක් විසඳන්න බැහැ. මේවාට ජාත්‍යන්තර වශයෙන් සහයෝගිතා අවශ්‍යයි. දේශීය හා ජාත්‍යන්තර මැදිහත්වීම් ගැන සොයා බලනවා. අපිත් මේ ව්‍යාපාරවල කොටස් කරුවෙක් විය යුතුයි,” ඔහු පැවසීය.

විශේෂයෙන්ම හරිත හයිඩ්‍රජන් අපනයනය කිරීමේ අනාගත ශක්‍යතා මෙන්ම අපේක්ෂා කරන හරිත ආර්ථිකය ගොඩනැගීමේදී රටට පුනර්ජනනීය හා පිරිසිදු ශක්තීන් සඳහා ඇති අපේක්ෂාවන් ඔහු අවධාරණය කළේය.

“සුළඟ, සාගර තරංග සහ සූර්ය බලශක්තිය වැනි පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් විදුලිය නිපදවීමේ හැකියාව ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාවය ඉක්මවා යයි. ඒ නිසා පුනර්ජනනීය බලශක්ති අතිරික්තයෙන් හරිත හයිඩ්‍රජන් නිෂ්පාදනය කර අපනයනය කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබී තිබෙනවා.

තවද, විද්‍යුත් ත්‍රිරෝද රථ සහ මෝටර් රථවල ප්‍රතිලාභ නෙළා ගැනීමට විදුලි බලයෙන් ක්‍රියාත්මක වන පුනර්ජනනීය බලශක්ති අවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නේය. විදුලි ත්‍රිරෝද රථ සහ මෝටර් රථ කෙරෙහි රජය අවධානය යොමු කර ඇති අතර එමඟින් රටේ ඉන්ධන ආනයන බිල ද අඩු කළ හැකි බව ඔහු සඳහන් කළේය.

2022 අයවැයෙන් 2030 වන විට සමස්ත විදුලි ඉල්ලුමෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්තිය හරහා සපුරාලීම සඳහා පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ පෞද්ගලික ආයෝජන දිරිගැන්වීමේ පහසුව සඳහා අතිරේක රුපියල් මිලියන 500ක් වෙන් කිරීමට යෝජනා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *