යුගදනවි බලාගාර ගණුදෙණුව පිළිබඳ කැබිනට් තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වීමට අමාත්‍යවරුන් තිදෙනෙක්

කෙරවලපිටිය යුගදනවි බලාගාරයෙන් 40%ක් ඇමරිකානු සමාගමකට පැවරීමට රජය ගත් තීරණයට එරෙහිව වෙනම නීතීඥ මණ්ඩලයක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වීමට කැබිනට් අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල තීරණය කර තිබෙනවා.

කොටස් පැවරීමට රජය ගත් තීරණයට එරෙහිව පෙත්සම් පහක් ගොනු කර ඇති අතර එම පෙත්සම් ලබන 26 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

මෙම පෙත්සම් පහ පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

මෙම පෙත්සම් සලකා බැලීමේ දී වගඋත්තරකාර අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටින අතර, කැබිනට් මණ්ඩලයේ තිදෙනා වෙනම නීතිඥ කණ්ඩායමක් මාර්ගයෙන් අධිකරණය හමුවේ පෙනී සිටීමට තීරණය කර ඇත.

රජයේ හවුල්කාර පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය 17 වැනිදා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ නිල නිවසේදී පැවැත්විණි.

මෙම ගිවිසුමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ ආකාරය ප්‍රශ්නකාරී බව අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමට ද තීරණය විය.

බලාගාරයෙන් 40%ක් ඇමරිකානු සමාගමකට පැවරීමට එරෙහිව වාසුදේව නානායක්කාර සහ විමල් වීරවංශ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් පසුගියදා ජන හමුවක් පැවැත්වූ අතර එහිදී ඔවුන් සඳහන් කළේ අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය කැබිනට් මණ්ඩලයේදී ප්‍රමාණවත් ලෙස සාකච්ඡා කර නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *