මේ පූජනීය සිරිපා වන්දනා සමයයි

පසුගිය උදුවප් පොහාය දිනයේ සිට සිරිපා වන්දනා සමය ආරම්භ වුණා. මේ වනවිට විශාල බැතිමතුන් ප්‍රමාණයක් සිරිපා කරුණාකර තිබෙනවා. පාසැල් නිවාඩුව තිබුණ නිසා දෙමව්පියන්ටත් දූ දරුවන්ටත් පවුලේ සියලුම දෙනා සමගම සිරිපා කරුණාකරන්න හැකියාව ඇති නිසා දෙසැම්බර් මාසය තුළ සිරිපා ගමන් මාර්ග කාර්ය බහුල වෙනවා. ඒ වගේම සිරිපා කරුණා කරන්න බාල වැඩිහිටි මහලූ කිසිදු බේදයක් නැහැ. ඒ තරම්ම පූජනීයත්වයකින් තමයි සෑම කෙනෙක්ම අති උතුම් ශී‍්‍ර පාදය කරුණා කරන්නේ ඒ අතරින් යන්නං වාලේ ගිහින් සිරිපා භූමිය හා ඒ අවට පරිසරය දූෂණය කරළා එන අතලොස්සකුත් ඉන්න බව කණගාටුවෙන් වුණත් කියන්න ඕනි. එයාලාගේ භාෂාවෙන් කිව්වොත් “ෆන් එකට සිරිපා කරුණා කරන” අයත් ඉන්නවා. කොහොම වුණත් ඒ අය හිතට ගන්න ඕනි පින්බිමක් අපවිත‍්‍ර කරලා කිලිටි කරලා තමන්ට යහපතක් නොලැබෙන බව. ඒ නිසා පරිසරයත් රැකගෙන සිරිපා භූමිය බැති සිතින් වන්දනාමාන කරන එක තමයි සැබෑ පින්වතුන්ගේ අරමුණ විය යුත්තේ. ඒ නිසා ඔබ ඉවත දාන පුංචි ටොෆි කොලේ ඉදන් හිස් වතුර බෝතලය දක්වා සියලූම දේ නැවත රැගෙන ඒමට වග බලාගන්න. ගෙනියන වතුර බෝතලේ ඉවර වුණ ගමන් ගමන් මල්ලේ ඉඩ ඇහිරෙනවා කියලා වීසි කරන්න එපා.

ප්‍රධාන මාරග දෙකක් වන හැටන් නල්ලතන්නිය මාර්ගයේ හා රත්නපුර පලාබද්දල මාර්ගයේ බීමට සුදුසු ජලය තියෙන කරාම බොහෝ තැන් වල ඉදි කරලා තියෙන්නේ. ඒවායින් බෝතලය නැවත නැවතත් පුරවා ගන්න කටයුතු කරන්න. ඒ වගේම මතක තියාගන්න සමනොළ කන්ද කියන්නේ කදුකර ජලාශ ආශි‍්‍රත පරිසරයක් නිසා ඔබ ඉවත දාන සෑම දෙයක්ම පහසුවෙන් පිරිසිදු කරන්න නොහැකි බවත්. ඔබ සිරිපා වාරයේ පහසුවෙන් සිරිපා මගෙහි කරුණා කරන්නේ අවාරය අවසන් කාලසීමාවේදී නොයෙකුත් ස්වේච්ඡා සංවිධාන මගින් දියත් කරනු ලැබූ දුෂ්කර වූත් දැවැන්ත වූත් මග හෙළිපෙහෙළි කිරීමේ හා පවිත්‍ර කිරීමේ කර්තව්‍යකින් පසුව බව. එම නිසා ඒ ස්වේච්ඡුා සංවිධාන වලින් ඉටුකරන ලද පුණ්‍ය කටයුත්තට කරන යුතුකමක් ලෙස සිරිපා බිමේ පූජනීයත්වයට මෙන්ම පවිත‍්‍ර බවටත් මුල්තැන දෙන්න.

 

ඔබගේ වන්දනා නඩයට ගමන් කළ හැකි මාර්ගය තෝරාගන්න.

හැටන් නල්ලතන්නිය හරහා යෙදී ඇති මාර්ගය.
ආසන්න වශයෙන් දුර කිමී 5ක් පමණ වේ බැතිමතුන් බොහෝ පිරිසක් භාවිතා කරන මාර්ගයද හැටන් නල්ලතන්නිය මාර්ගයයි. අවම දුර සහිත සහ වැඩිම පහසුකම් සහිත මාර්ගය මෙය වන බැවින් සිරිපා සමය ආරම්භ වෙත්ම ගමන් මග බොහෝ කාර්යබහුල වේ. මේ වනවිට බැතිමතුන්ගේ පහසුව උදෙසා අත්වැටවල් හා පඩිපෙල්ද තවතවත් නවීකරණය කර ඇත. සිරිපා මලුවට කරුණා කිරීමට පැය 5ත් 7ත් අතර කාලයක් වැයවේ.

රත්නපුර සිරිපාගම එසේත් නැතිනම් ශී‍්‍ර පලාබද්දල හරහා යෙදී ඇති රජ මාවත.
සිරිපාගම ශී‍්‍ර පලාබද්දල විහාරයේ සිට දුර කිමී 8.5 ක් පමණ වේ මෙම මාර්ගයට රජ මාවත යන නම යොදා ඇත්තේ නිශ්ශංක මල්ල රජතුමා සිරිපා කරුණා කිරීමට මෙම මාර්ගය භාවිතා කළ නිසායි. මෙම මාර්ගයේ විශේෂත්වය වන්නේ ගමන ආරම්භයේ සිට අවසානය දක්වාම පඩි ඉදිකර තිබීමයි. මෙය නල්ලතන්නිය මාර්ගය හා සසැදීමේදී කිලෝමීටර් තුනහමාරකින් පමණ වැඩිය. මෙම මාර්ගය තරමක් හුදකලා ස්වභාවයෙන් ගන්නා අතර වන ගහණය හේතුවෙන් වැඩි සුන්දරත්වයක් උසුලයි. ගල්වංගෙඩිය නම් වූ ස්ථානයේදී කුරුවිට එරත්න ප‍්‍රදේශයෙන් ආරම්භ වන සිරිපා ගමන්මග හා එකතුවේ. මලුවට කරුණාකිරීමට පැය 8ත් 10ත් අතර කාලයක් ගතවේ.

රත්නපුර කුරුවිට එරත්න හරහා මාර්ගය.
ආසන්න වශයෙන් දුර කිමී 12ක් 13ක් පමණ වේ. සිරිපා කරුණා කරන ප‍්‍රධාන මාර්ග තුන අතරින් දිගින් වැඩිම මාර්ගය වන මෙය තරමක් දුෂ්කර මාර්ගයක් වන අතර බොහෝ විට ගමන් කිරීමට ඇත්තේ වනගත මාර්ග ඔස්සේය. නල්ලතන්නිය හා පලාබද්දල මාර්ග හා සසැදීමේදී කොන්කී‍්‍රට් යෙදූ පඩි පෙළවල් වෙනුවට ගල් මුල් පිරි අඩි පාරක ගමන් කිරීමේ වෙනස් අත්දැකීම ඔබට ලබා ගත හැක. ගල්වංගෙඩිය නම් වූ ස්ථානයේදී පලාබද්දලින් ආරම්භ වන සිරිපා ගමන්මග හා එකතුවේ. පැය 10ත් 12ත් අතර කාල පරාසයක් ගතවේ.

දැරණියගල මාලිබොඩ උඩමාලිබොඩ හරහා මාර්ගය.
කිලෝමීටර් 12ක් පමණ දුරක් ඇති සිරිපා කරුණාවට දවසම වගේ වැය කරන්න වෙන දුෂ්කර මාර්ගයක් කිව්වොත් නිවැරදියි. මෙම මාර්ගයද කුරුවිට එරත්න සිට පාගමනින් පැමිණෙන මාර්ගයට එකතුවන්නේ මැදහින්න අම්බලම ආසන්නයටයි. විදුලි ආලෝකය අම්බලම් සහ වෙළදසැල් පහසුකම් මැදහින්න දක්වා නොමැති අතර පරිසර සුන්දරත්වයෙන් නම් ඉතාමත් ඉහළයි. පැය 10ත් 14ත් අතර කාල පරාසයක් ගතවේ. දැරණියගල සිට මාලිබොඩ දක්වා පොදු ප්‍රවාහණ සේවා භාවිතා කළ හැක.

රත්නපුර මල්වල මුක්කුවත්ත හරහා මාර්ගය.
කිලෝමීටර් 15ක පමණ දුරක් ගමන්කළයුතු මාර්ගයකි. ඇහැළකණුව අසලින් පලාබද්දල සිට පැමිණෙන මාර්ගයට එකතු වේ. විදුලිය පහසුකම් හා වෙළෙදසැල් පහසුකම් කිසිවක් මෙම මාර්ගයේ සලසා නැති අතර විඩා හැරීමට ඉදිකර ඇත්තේද එකම එක අම්බලමක් පමණි. නමුත් ස්වභාවික සෞන්දර්යයෙන් පිරි පරිසරයක් හරහා ගමන්මග යෙදී ඇති අතර අනෙක් මාර්ග පහටම වෙනස් කෝණයකින් සමනොළකන්ද දැකගත හැකිවනු ඇත. බොහෝ හුදකලා මාර්ගයක් බැවින් මෙම මාර්ගය භාවිතා කරන්නේ බොහෝම අතලොස්සක් දෙනා පමණි. මාර්ගය ගැන අවබොධයක් ඇති කෙනෙක් සමග ගමන් කිරීම වඩාත්ම අගනේය. පැය 10ත් 15ත් අතර කාලයක් ගතවේ. රත්නපුර සිට මුක්කුවත්ත දක්වා පොදු ප්‍රවාහණ පහසුකම් භාවිතා කළ හැක.

රාජමලේ පාර හෙවත් මරේවත්ත මාර්ගය
සිරිපා කරුණා කිරීමට අඩුම දුරක් ඇත්තේ මෙම මාර්ගය ඔස්සේය හැටන් සිට නල්ලතන්නියට පැමිණෙන අතරමග හමුවන මෝහිණී ඇල්ල පසුවී කෙටි දුරක් පැමිණෙන විට මුල්ගම ප‍්‍රදේශයේදී මරේවත්ත පාර හමුවේ. මරේවත්ත රාජමලේ හරහා මේ මාර්ගය දිගේ ගිය විට මහගිරිදඹ ආසන්නයෙන් නල්ලතන්නියේ සිට පැමිණෙන ගමන් මාර්ගයට එකතු වේ. මෙම මාර්ගය සමාගම් වත්තක් හරහා යෙදී ඇති බැවින් එහි ගමන් ගැනීමේ අවසරය හිමි වන්නේ ප‍්‍රභූන්ට පමණක් බව 2019 දෙසැම්බර් මස පුවත්පතක වාර්තාවක්ද පළවී ඇත. එබැවින් එම කාරණය මාර්ගයේ ගමන් කළ අයෙකුගෙන් හෝ ප්‍රදේශවාසීන්ගෙන් සැක හැර දැනගැනීම නුවණට හුරුය. සිරිපා මලුවට කිලෝමීටර් 4ක පමණ දුරක් ගමන් කළයුතු අතර පැය 3ත් 5ත් අතර කාලයක් ගතවේ.

මෙම මාර්ග 6න් පහසු මාර්ගයක් භාවිතා කිරීමේ තීරණය ඔබ සතුය. එයට හේතුව වන්නේ වන්දනා නඩ වල විවිධ වයස් කාණ්ඩ හා විවිධ අපහසුකම් සහිත පුද්ගලයින් සිටීමයි. ඒ පිළිඹදවත් සැලකිලිමත් වි තුණුරුවන්ගේ ආශිර්වාදයෙන්, සමන්දෙවියන්ගේ ආරක්ෂාවෙන් සිරිපා කරුණා කරන්න.

1 Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *