ශ්‍රී ලංකාවේ දිගුකාලීන මානව-අලි ගැටුමට තිරසර විසඳුමක් ලෙස උණ බම්බු යොදාගෙන “ජෛව වැට” (Bio-fences) ස්ථාපිත කිරීමේ යෝජනාව සඳහා තාක්ෂණික සහ පර්යේෂණ සහාය ලබාදීමට චීනය එකඟ වී තිබේ.
මෙම යෝජනාව පිළිබඳව සාකච්ඡා කර ඇත්තේ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලාංකික දූත පිරිසක් බීජිංහි පිහිටි ජාත්‍යන්තර උණ බම්බු සහ රත්තන් මධ්‍යස්ථානය (International Center for Bamboo and Rattan – ICBR) වෙත කළ නිල සංචාරයකදීය.
ICBR නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවලදී උණ බම්බු වගාව, නවීන සැකසුම් තාක්ෂණයන් සහ උණ බම්බු පදනම් කරගත් කාර්මික නිෂ්පාදන පිළිබඳව අවධානය යොමු කර තිබේ.
මානව-අලි ගැටුම අවම කිරීම සඳහා උණ බම්බු ජෛව වැට සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව චීනයෙන් සහාය ඉල්ලා ඇති අතර, ඊට ප්‍රතිචාර ලෙස පර්යේෂණ හා සංවර්ධන කටයුතු, නවීන තාක්ෂණය සහ හොඳම ක්‍රියාමාර්ග හුවමාරු කිරීම හරහා සහාය ලබාදීමට චීන පාර්ශ්වය එකඟ වී ඇත.
පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ, මෙම වැඩසටහන මානව-අලි ගැටුම පාලනය කිරීම සඳහා පරිසර හිතකාමී ප්‍රවේශයක් ලබාදෙනවා පමණක් නොව, උණ බම්බු ආශ්රිත කර්මාන්ත හරහා ප්‍රාදේශීය ජනතාවට නව ආර්ථික අවස්ථාද නිර්මාණය කරනු ඇති බවයි.
එමෙන්ම මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ හරිත සංවර්ධන අරමුණු ඉදිරියට ගෙන යාමටත්, රට මුහුණ දෙන දිගුකාලීන වනජීවී සංරක්ෂණ අභියෝගයක් වන මානව-අලි ගැටුමට විසඳුම් සෙවීමටත් දායක වනු ඇතැයි රජය සඳහන් කළේය.


