මද්‍රසා පාසැලේදී දරුවන්ට අවි හා ත්‍රස්තවාදී පුහුණුව දුන් අයුරු හෙළිවේ

මද්‍රසා පාසැලක ඉගෙනුම ලැබූ දරුවන් දෙදෙනෙක් ඊයේ (12) කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ. ඒ මද්‍රසා පාසලේදී තමන්ට අන්තවාදය සම්බන්ධයෙන් ඉගැන්වීම සහ සටන් පුහුණුව ලබාදුන් අයුරු සම්බන්ධයෙන්. මෙම දරුවන් දෙදෙනා වයස අවුරුදු 17ට අඩු දරුවන් දෙදෙනෙක් වන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (12) අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා. පැයකට අධික කාලයක් මෙම දරුවන් දෙදෙනා මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ මෙම ප්‍රකාශය සිදුකළ අතර ඒ සඳහා භාෂා පරිවර්තකයෙකුගේ ද සහය ලබා ගැනීමට සිදු වී තිබේ.

අදාළ මද්‍රසා පාසලේ දරුවන්ව නේවාසිකව රදවා ගෙන විවිධ පුහුණුවීම් හා, ත්‍රස්තවාදී පුහුණුවද ලබාදුන් ආකාරය මෙම දරුවන් විසින් හෙළි කර තිබේ. එමෙන්ම අදාළ පාසල පවත්වාගෙන යමින් එහි ප්‍රධාන නිලතල හෙබවූ පුද්ගලයින් පාස්කු ඉරිදා ප්‍රහාරය දියත් කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයේදී මේ වනවිට හෙළිවී ඇත.

මෙම පාසල පවත්වාගෙන ගිය රාජ්‍ය නොවන සංවිධානයේ ලේකම්ධුරය හා භාණ්ඩාගාරික ධුරය දැරූ දෙදෙනෙකු මෙම පාසලට පැමිණ දරුවන්ට දේශන පවත්වා ඇති බවත් එම පුද්ගලයින් දෙදෙනා පාස්කු බෝම්බ ප්‍රහාරයේ දී ෂැංග්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් දෙකට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ බෝම්බකරුවන් දෙදෙනා බවටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කර ඇති වාර්තාවේ සදහන්ව ඇත.

එමෙන්ම බෝම්බ ප්‍රහාරයෙන් පසු අම්පාරේ නිවසක් තුළ බෝම්බ පුපුරුවා ගනිමින් මියගිය සහරාන්ගේ සොහොයුරා වන මොහොමඩ් රිල්වාන් යන අයත් මෙම පාසලට පැමිණ දේශන පවත්වා ඇති බවට විමර්ශන වලදී වැඩිදුරටත් අනාවරණයවී ඇත.

මෙම මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ බව කියන නිතිඥ හිජාස් හිස්බුල්ලා දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටින අතර ඔහු සම්බන්ධයෙන් ද මෙම දරුවන් දෙදෙනා සිය ප්‍රකාශයේදී කරුණු හෙළිකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *