බ්‍රැන්ඩික්ස්

බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර සම්බන්ධ විමර්ශනයේ ප්‍රගතිය අදම දන්වන්න – නීතිපතිගෙන් පොලිස්පතිට උපදෙස්

කොවිඩ්-19 බ්‍රැන්ඩික්ස් පොකුර සම්බන්ධ විමර්ශනයේ ප්‍රගතිය පිළිබඳ නීතිපතිවරයා විසින් වැඩබලන  පොලිස්පතිවරයාගෙන් 2020 නොවැම්බර් 13 වන දිනට ඉල්ලා සිටි ප්‍රගති වාර්තාව මේ වනතෙක් ලැබී නොමැති බවත් එම වාර්තාව අද (18) ලැබීමට සලස්වන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් දී තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය මේ බව පැවසුවාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය,

“කොවිඩ්-19 බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළ විමර්ශන සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා විසින් ගරු නීතිපතිතුමා වෙත අද දින ලිපියකින් දන්වන ලද්දේ මෙකී විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් යුත් කාණ්ඩායමක් පත්කර ඇති බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ කොවිඩ්-19 බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළ විමර්ශනයේ අධික්ෂණය සිදුවන බවද, වැඩිදුරටත් දන්වා සිටිනවා. ඒ අනුව, අද දින ගරු නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති, අධ්‍යක්ෂ ඇතුළු විමර්ශන කණ්ඩායමක් කැඳවා විමර්ශනය සම්බන්ධයෙන් නිසි උපදෙස් ලබාදීමක් සිදුකළා. කෙසේවෙතත් විමර්ශනයේ ප්‍රගතියට අදාළව ගරු නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාගෙන් 2020 නොවැම්බර් 13 වන දිනට ඉල්ලා සිටි ප්‍රගති වාර්තාව මේ වන තෙක් ලැබී නොමැති බව සඳහන් කරන අතර එම වාර්තාව අද දිනම ලැබීමට සලස්වන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට ගරු නීතිපතිතුමා විසින් ලිඛිතව උපදෙස් ලබාදීමක් සිදුකළා.  කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය පිළිබඳව ජාතික ව්‍යසනයක් ඇති මේ අවස්ථාවේ විමර්ශනය කඩිනමින් සිදුකළ යුතු බවට ගරු නීතිපතිතුමා විසින්  වැඩබලන පොලිස්පතිවරයා වෙත වැඩිදුරටත් අවධාරණය කර සිටියා.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *