පාසැල් නිළ ඇදුම් වවුචර් වල වටිනාකම අඩුකිරීමක් සිදුකර නෑ – අධ්‍යාපන අමාත්‍යාංශය

පාසැල් නිල ඇඳුම් තිළිණපත්වල (වව්චර්) වටිනාකම අඩුකර ඇති බවට ගෙන යන කටකතා සම්පූර්ණයෙන් ම සාවද්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. නිකුත් කර ඇති නිවේදනයේ මෙසේ සදහන් වේ.

උපුටා ගැනීම

“නිල ඇඳුම් තිළිණපත්වල වටිනාකම අඩුකර ඇති බවට ඇතැම් පාර්ශව විසින් ගෙන යන කටකතාවල කිසිදු සත්‍යතාවක් නොමැත. 2020 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් තිළිණපත් ලබාදීමේ දී ගිහි සිසුන් සඳහා ශ්‍රේණි කාණ්ඩ තුනකින් සහ පැවිදි සිසුන් සඳහා ශ්‍රේණි කාණ්ඩ දෙකකින් හා නිල ඇඳුම් වර්ග හයකින් සමන්විත ව තිළිණපත් ලබාදීම සිදුකර ඇති අතර, පෙර වර්ෂයේ ලබා දී ඇති තිළිණපත්වල වටිනාකම මෙම වර්ෂයේ දී ද සියලු සිසුන් වෙත ලබා දී තිබේ.

මෙම වර්ෂයේ නිල ඇඳුම් ලබාදීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් රජය රුපියල් මිලියන 1500ක් වෙන් කර තිබුණි. ඒ අනුව, 1-5 ශ්‍රේණි ශිෂ්‍යයින් සඳහා 2017 සහ 2018 වසරවල රුපියල් 500ට තිබූ තිළිණපත් වටිනාකම 2020 වසරවල දී රුපියල් 525 දක්වා ද,

ශිෂ්‍යාවන් සඳහා පෙර වර්ෂවල රුපියල් 400, 720, 600 යන වටිනාකම්වලින් තිබූ තිළිණපත් 2019 වසරේ සිට රුපියල් 440,745,645 ලෙස ද වැඩි වී තිබේ. 6-9 ශ්‍රේණි සිසුන් සඳහා පෙර වසරවල රුපියල් 525ට තිබු තිළිණපත් වටිනාකම මේ වනවිට රුපියල් 580 ලෙස වැඩි වී ඇත. 6-9 ශ්‍රේණි ශිෂ්‍යාවන් සඳහා ගවුම් රෙදි, සාය රෙදි හා හැට්ට රෙදි, ෆර්දා සමඟ ගවුම් රෙදි යන නිල ඇඳුම් වර්ග වෙනුවෙන් රුපියල් 500, 700, 700, 750 ලෙස පැවති වටිනාකම් 2019 වර්ෂයේ සිට රුපියල් 580,850,730 ලෙස වැඩිවී තිබේ. 10-13 ශ්‍රේණි සිසුන්ට කමිස හා කලිසම් රෙදි මිලදී ගැනීම සඳහා ලබා දී තිබුණේ රුපියල් 750ක තිළිණපතකි. එය රුපියල් 795 දක්වා වැඩි කර තිබේ. 10-13 ශ්‍රේණිවල ශිෂ්‍යාවන්ට ගවුම් රෙදි, ළමාසාරි රෙදි, සාය රෙදි හා හැට්ට රෙදි, ෆර්දා සමඟ ගවුම් රෙදි යන නිල ඇඳුම් වර්ග වෙනුවෙන් 2016 වසරේ දී රුපියල් 600,800,1000,800 ලෙස පැවති තිළිණපත් වටිනාකම් මේ වනවිට රුපියල් 645,850,1065,850 ලෙස වැඩි කර තිබේ. එමෙන් ම 1-7 ශ්‍රේණි පැවිදි සිසුන් සඳහා සිවුරු රෙදි මිල දී ගැනීමට 2016 වසරේ දී ලබා දී තිබුණේ රුපියල් 1300ක තිළිණපතකි. එම වටිනාකම රුපියල් 1375කින් ඉහළ නංවා තිබේ. 8-13 ශ්‍රේණිවල පැවිදි සිසුන් වෙත සිවුරු රෙදි සඳහා ලබා දී තිබූ රුපියල් 1700ක තිළිණපත් වටිනාකම මේ වනවිට රුපියල් 1800කින් වැඩි වී තිබේ.

නිල ඇඳුම් තිළිණ පත් පාසල් සිසුන් වෙත ලබාදීමේ ක්‍රියාවලිය තුළ විදුහල් ප්‍රධානීන් විසින් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධ උපදෙස් මේ වනවිටත් සියලු පාසල් වෙත ලබා දී ඇත.

පාසල් පරිශ්‍රය තුළ කිසිදු පුද්ගලයකුට හෝ ව්‍යාපාරික ආයතනයකට පාසල් නිල ඇදුම් රෙදි පිළි අලෙවි කිරීම හෝ ප්‍රවර්ධනය කිරීම හෝ කිරීම සපුරා තහනම් වන බවත්, විදුහල්පතිවරයෙකුට හෝ නිලධාරියෙකුට පාසල් දරුවන්ට නිල ඇඳුම් රෙදි ලබා ගැනීමේ දී කිසියම් පුද්ගලයකු හෝ කිසියම් ව්‍යාපාරික ස්ථානයක් නම් කිරීම හෝ කිසියම් පුද්ගලයකු හෝ ආයතනයක් ප්‍රවර්ධනය වන ආකාරයෙන් කටයුතු කිරීම සපුරා තහනම් බවත් එම උපදෙස් අතර අවධාරණය කර තිබේ. එමෙන් ම කිසිම විදුහල්පතිවරයෙකුට හෝ නිලධාරියෙකුට ව්‍යාපාරිකයන් හා සම්බන්ධ වෙමින් නිල ඇඳුම් රෙදි අලෙවි කිරීම සඳහා මැදිහත් වීමට ද අයිතියක් නොමැති අතර, නිල ඇදුම් තිළිණපත වෙනුවට නිල ඇඳුම් රෙදි ලබාදීමට ද කිසිදු විදුහල්පතිවරයෙකුට හෝ නිලධාරියෙකුට අවසරයක් නොමැත.

දරුවන්ගේ හා දෙමාපියන්ගේ අභිමතය පරිදි නිල ඇඳුම් තිළිණපත් භාවිතා කරමින් තමා කැමති ඕනෑම රෙදි පිළි අලෙවි සැලකින් නිල ඇඳුම් රෙදි මිලදී ගත හැකි ය. මීට අමතර ව 1988 අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්ෂණික ඇමතුම් මාර්ගය ඔස්සේ මේ සම්බන්ධයෙන් යම් පැමිණිල්ලක් වේ නම් ඕනෑම අයෙකුට ඒ සඳහා ද අවස්ථාව ලබා දී ඇති අතර කිසිදු දරුවෙකුට අසාධාරණයක් නොවන සේ රජයෙන් නොමිලේ ලබාදෙන මෙම තිළිණපත් හිමිකම ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පූර්ණ වගකීම දරනු ලැබේ”

උපුටා ගැනීම අවසන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *