පවතින දේහ නිෂ්කාශනය කරන තුරු සිරුරු භාර නොගැනීමට කළුබෝවිල රෝහල් පරිපාලනය තීරණය කරයි.

කළුබෝවිල (කොළඹ දකුණ) ශික්ෂණ රෝහල වෙත රැගෙන එන හඳුනා නොගත් සහ හිමිකරුවන් නොමැති මළ සිරුරු මින් ඉදිරියට භාර නොගැනීමට රෝහල් පරිපාලනය තීරණය කර තිබේ.

රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය සාගරි කිරිවන්දෙණිය මහත්මිය පැවසුවේ විවිධ හේතූන් මත රෝහලට රැගෙනවිත් ඇති මෘත ශරීර රෝහල් මෘත ශරීරාගාරයෙන් ඉවත් කරන ලෙස ප්‍රදේශයේ අදාළ පොලිස් ස්ථාන වෙත නොතීසි නිකුත් කර ඇති බවයි.

මෘත ශරීරාගාරය ධාරිතාව ඉක්මවා යාම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඇය පැවසුවාය. “රෝහලේ මෘත ශරීරාගාරයේ ගබඩා කළ හැකි මළ සිරුරු සංඛ්‍යාව 36කි. නමුත් මේ උපරිම ධාරිතාවය ඉක්මවන සිරුරු අපට ලැබී තිබෙනවා.

“වසරක් පුරාවට පශ්චාත් මරණ පරීක්‍ෂණ සිදු නොකළ හඳුනා නොගත් මළ සිරුරු 28ක් ගබඩා කිරීම තත්ත්වය තවත් නරක අතට හැරී තිබෙනවා. එමෙන්ම පිළියන්දල, මිරිහාන, දෙහිවල, ගල්කිස්ස වැනි පොලිස් ස්ථාන මගින් දැනට රෝහලේ තැම්පත් කර ඇති මළ සිරුරු පිළිබඳ පසුවිපරම් කටයුතු සිදු නොකිරීම සහ පශ්චාත් මරණ පරීක්ෂණ නොපැවැත්වීම තත්ත්වය තවත් නරක අතට හැරී ඇත. නොතීසි නිකුත් කර තිබුණත් ඇතැම් පොලිස් ස්ථාන කිසිදු සැලකිල්ලක් දක්වා නැහැ.”

“උසාවි නියෝගවලින් හෝ වෙනත් හේතූන් මත හඳුනාගත් සිරුරු දිනපතා රෝහල්වලට ගෙන එනවා. තිබෙන මළ සිරුරු ඉවත් කරන තුරු රෝහලට ගෙන එන සිරුරු රෝහල් ඇඳන් මත තබා ගැනීමට සිදු වෙනවා” යැයි රෝහලේ තවත් නිලධාරියෙක් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *