නිරෝධායනයට යොදාගන්නා නිවෙස් වල විශේෂ දැන්වීමක් ඇලවීමට පියවර

කොවිඩ් වෛරසය හේතුවෙන් නිරෝධායනයට ලක් කරන නිවෙස් වල සෞඛ්‍ය බලධාරීන් විසින් අලවන ලද දැන්වීමට අමතරව තවත් විශේෂ දැන්වීමක් ඇලවීමට තීරණය කොට ඇතැයි මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා COVID19 වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී කියා සිටී.

මෙම දැන්වීම නිරෝධායන හා රෝග වැළක්වීමේ ආඥා පනත යටතේ පොලිස්පතිවරයාට සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එම රෙගුලාසියේ 37 වන වගන්තිය ප්‍රකාරව කරන ලද බලතල වලට අනුව සිදු කරන ලද නියෝගයක් බව අජිත් රෝහණ මහතා අවධාරණය කර සිටී.

එමෙන්ම, මෙකී නියෝගයට අනුව කිසිඳු ආකාරයකින් නිවෙසින් බැහැර වීම හෝ නිවසට පිටස්තරයින් ඇතුළුවීම තහනම් වන අතර එය වරදක් වේ. එම අලවන ලද දැන්වීමේ එම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්, පොලිස් ස්ථානාධිපති, ග්‍රාම නිලධාරී, යුධ හමුදා නිලධාරී දුරකථන අංක ඇතුළත් වේ. ඒ අනුව, යම් කිසි අවශ්‍යතාවයක් තිබේනම් මෙකී දුරකථන අංක අමතා අවශ්‍යතාවය සඳහන් කර සහන ලබා ගත හැකි බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙකී නියෝගයට පටහැනිව ක්‍රියාකරන්නන් හට නිරෝධායන රීතීන්ට අනුව කටයුතු කරන බවත්, නිශ්චල හෝ චංචල දෙපොළක් මුද්‍රා තැබීමට සහ පොලිස් භාරයට ගැනීමට කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

එකී නිරෝධායනයට ලක් කොට ඇති එහෙත් COVID-19 රෝග ලක්ෂණ නොමැති අයවලුන් හට ඉතාම හදිසි අවස්ථාවක දී වෙනත් රෝගයන් සඳහා පමණක් රෝහලක් වෙත යා හැකි වේ. නමුත්, ඒ හැරෙන්නට නිවසේ පිටතට යාම හෝ එම නිවසට පිටස්තරයින් ඇතුළු වීම සිදු නොකළ යුතු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *