දුම්රිය ධාවනය සීමා වෙයි

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති අතර එහි වැඩිම බලපෑම උඩරට දුම්රිය මාර්ගයෙන් වාර්තා වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කොටුව – බදුල්ල ප්‍රධාන මාර්ගයේ රඹුක්කන හා කඩිගමුව දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ ස්ථාන දෙකක් මේ වන විට නායයෑමට ලක්ව තිබේ.

එමෙන්ම කඩිගමුව දුම්රිය ස්ථානයේ කොටසක් ද නායයෑමට ලක්ව ඇත.

එමෙන්ම ඉහළ කෝට්ටේ හා බලන දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ කොටස් කිහිපයක් නායයෑමට ලක්ව ඇතැයි වාර්තා වේ.

විශාල පස්කඳු හා කළුගල් දුම්රිය මාර්ගය වෙත කඩා වැටීම හේතුවෙන් ද දුම්රිය මාර්ගයට හානි  සිදුව ඇති අතර, පස් හා ගල් ඉවත් කරමින් මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු මේ වන විට දුෂ්කරතා මධ්‍යයේ සිදුකරමින් පවතින බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඇතැම් ස්ථාන යථාතත්ත්වයට පත්කිරීමට දින ගණනාවක් ගතවෙනු ඇතැයි ද සඳහන් කර සිටි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා පමණක් සිදුකිරීමට කටයුතු කර ඇති බව ද නිවේදනය කළේය.

ඒ අනුව උඩරට මාර්ගයේ කොළඹ කොටුව – මහනුවර දුම්රිය ගමන් වාර 8 ක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

කොළඹ කොටුවෙන් මහනුවර බලා පෙරවරු 7.00, පස්වරු 3.35, 4.35 සහ 5.10 ට පිටත්වන දුම්රිය සහ මහනුවරින් පෙරවරු 4.30, 6.15 සහ 6.30 ට සහ පස්වරු 3.00 ට පිටත්ව දුම්රිය එසේ අවලංගු කර තිබේ.

“දැනට ඇතිවී ඇති මාර්ග බාධක ඉවත් කිරීමට දුම්ර්ය දෙපාර්තමේන්තු කාර්යමණ්ඩලය කටයුතු කරමින් සිටිනවා‍. ඒ අනුව හෙට දින දුම්රිය ධාවනය රඹුක්කන දක්වා සීමා කරන්න පමණක් සිදුවෙනවා. හැකි ඉක්මනින් දුම්රිය සේවය යථා තත්ත්වයට පත්කරන්න කටයුතු කරනවා. හෙට දින කාර්යාල දුම්රිය ධාවනය වන්නේ රඹුක්කනට සහ හලාවත සිට කොළඹ දක්වා පමණයි. මුහුදු බඩ මාර්ගයේ, කැලණිවැලි මාර්ගයේ  සහ උතුරු මාර්ගයේ එවැනි ගැටලුකාරී තත්ත්වයක් මතුවෙලා නැහැ.”

දැඳුරුඔය පිටාර ගැලීම හේතුවෙන් මඳුරන්කුලිය උප දුම්රිය ස්ථානය අසල මාර්ගයේ හා බංගදෙණිය දුම්රිය ස්ථානය ආසන්නයේ  මාර්ගයේ සම්පූර්ණයෙන් ජලයෙන් යටවීම හේතුවෙන් එම ජලය බැසයන තුරු පුත්තලම් මාර්ගයේ ද දුම්රිය ධාවන කටයුතු කොළඹ කොටුව සිට හලාවත දක්වා පමණක් සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *