ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමට දුන් උපදෙස් පිළිඹද නීතිපතිගෙන් කරුණු විමසීමක්

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට දුන් උපදෙස් සම්බන්ධයෙන් නීතිපති කැඳවා කරුණු විමසීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කර තිබේ. ඒ පසුගිය සිකුරාදා රැස්වූ අවස්ථාවේයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඉකුත් සිකුරාදා රැස්වූයේ එහි සභාපති, කථානායක කරු ජයසූරිය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු විපක්ෂ නායක ආර්.සම්බන්ධන් යන මහත්වරුන් සහ සෙසු සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන්.

විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා පොලිසියට උපදෙස් දීම පිළිබඳ එහිදී විශේෂ අවධානයට ලක්වූ අතර අධිකරණය පිළිබඳ ඇති මහජන විශ්වාසය නීතිපතිවරයාගේ මෙම උපදෙස නිසා බිඳවැටීමට ඉඩ ඇති බව මෙහිදී සාකච්ඡා වී ඇත.

එමෙන්ම මෙවැනි නියෝග අධිකරණයේ ස්වාධීනත්වයට සහ විනිසුරුවන්ගේ වෘත්තිය ගරුත්වත්වයටද බලපෑම් එල්ල කරන බවට මෙහි සාකච්ඡා වී ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තු නිවේදනයේ සඳහන්.

නීතිපතිවරයා ලබාදුන් උපදෙස් මත සිදුවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීම් සහ පොලිස්පතිවරයා,හිටපු ආරක්ෂක ලේකම් වැනි රාජ්‍ය නිලධාරීන් අත්අඩංගුවට ගැනීම් පිළිබඳවද මෙහිදී සැලකිල්ලට ලක් විය.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති ලෙස කථානායක කරු ජයසූරිය මහතා තීරණය කර ඇත්තේ නීතිපතිවරයා කැඳවා කරුණු විමසිය යුතු බවටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *